Home » News »

සියලු මූල්‍යමය චෝදනා අගවිනිසුරුවරිය ප්‍රතික්‍ෂේප කරයි – නීති සමාගම ලිපියකින් දැනුම් දෙයි

 

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්‌ඩාරනායක මහත්මිය සතු සියලුම සක්‍රීය බැංකු ගිණුම් ඇයගේ වත්කම් හා වගකීම් ප්‍රකාශ කොට ඇති බවත් ඇය විනිශ්චයකාරවරියක වශයෙන් ලැබෙන වේතනය සහ පවුලේ සාමාජිකයන් වෙතින් හැරුණ විට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක සිටින කිසි කෙනෙකුගෙන් කිසිදු ප්‍රේක්‍ෂණයක්‌ ලබා නොමැති බව නීල කන්දන් සහ නීල කන්දන් නීති සමාගම ලිපියක්‌ නිකුත් කරමින් කියා සිටී.

එබැවින් ඇයගේ පැත්තෙන් කිසිදු මූල්‍යමය අයෝග්‍යත්වයක්‌ පැහැදිලිවම සිදුවී නොමැති බවත් ඇයට එල්ල වූ චෝදනාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත් එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

එම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

අපගේ සේවා දායිකාවට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් ඔබගේ පුවත්පත විසින් ප්‍රචාරයක්‌ ලබා දී ඇත. මේ අවස්‌ථාවේදී ඇයගේ බැංකු ගිණුම් සහ ප්‍රේක්‍ෂණයන් පිළිබඳ ඔබගේ සහ ඔබ මගින් මහජනයාගේද අවධානය යොමු කරනු පිණිස පහත සඳහන් කරුණු ඉදිරිපත් කරමු.

2010 වසරේ සිට අපගේ සේවාදායිකාව තනිකරම බැංකු ගනුදෙනුවල නිරත වූයේ එන්ඩීබී බැංකුව සමග පමණකි. තම වත්කම් සහිත සියලුම සක්‍රීය බැංකු ගිණුම් පිළිබඳ අපගේ සේවාදායිකාව විසින් තම වත්කම් සහ වගකීම් ප්‍රකාශනයෙහි ප්‍රකාශ කොට ඇත. ශුන්‍ය ශේෂයක්‌ සහිත නිෂ්ක්‍රීය බැංකු ගිණුම් කිහිපයක්‌ පිළිබඳව බැංකුව විසින් අපගේ සේවාදායිකාවට දැනුම් දී ඇත. 1996 ඔක්‌තෝබර් 30 වැනිදාට පෙර අපගේ සේවාදායිකාව විසින් මෙහෙය වන ලද මේ වනවිට වසා දමා ඇතැයි අපගේ සේවාදායිකාව විශ්වාස කරන නිෂ්ක්‍රීය ගිණුම් වෙනත් බැංකුවල ද තිබිය හැකිය. 1996 ඔක්‌තෝබර් 30 වැනිදා අපගේ සේවාදායිකාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරියක වශයෙන් පත් කරන ලදී. එතැන් පටන් ඇයගේ ආසන්න පවුලේ අය (ඇයගේ සොහොයුරියද ඇතුළත්ව) වෙතින් හෝ ඇයගේ නිල වේතනය මගින් හෝ ලැබුණු ප්‍රේෂණ හැරුණු කොට විදේශයක සිට හෝ මෙරට සිට හෝ කිසිම ආකාරයක මුදලක්‌ අපගේ සේවාදායිකාව වෙත ප්‍රේක්‍ෂණය කොට නැත.

අපගේ සේවාදායිකාවගේ සහෝදරිය සහ ඇයගේ ස්‌වාමිපුරුෂයා වෘත්තීය ඉංජිනේරුවන් වශයෙන් ඔස්‌ටේ්‍රලියාවේ සේවයේ නියුතුව සිටින අතර, ඔවුන් තමන් ශ්‍රී ලංකාවේ සිටින අවස්‌ථාවකදී බද්ධ නිවාසයක්‌ (ඔවුන් විසින් මිලදී ගැනීම පිණිස) වෙන්කරවා තබන ලදී. ඉන් අනතුරුව අපගේ සේවාදායිකාවගේ සහෝදරිය එම බද්ධ නිවාසය මිලදී ගැනීම පිණිස විටින් විට ඔස්‌ටේ්‍රලියානු ඩොලර් ප්‍රමාණයක්‌ (ඇයගේ ඔස්‌ටේ්‍රලියානු බැංකුව මගින්) ප්‍රේක්‍ෂණය කරන ලදී. එන්ඩීබී බැංකුව විසින් අනතුරුව එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලදි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් දළ වශයෙන් රුපියල් මිලියන 27 කි. අපගේ සේවාදායිකාව දළ වශයෙන් රුපියල් මිලියන 27 ක මුදලක්‌ වාරික වශයෙන් විකුණුම්කරු වෙත චෙක්‌පත් මගින් සෘජුවම ප්‍රේෂණය කරන ලදී. මෙම ගනුදෙනු බැංකුව විසින් සනාථ කොට ඇත.

ඔබගේ ප්‍රවෘත්තියේ සඳහන් රුපියල් මිලියන 34 ක මුදල යන්න නිරවද්‍ය නොවේ. ඔබගේ ප්‍රවෘත්තියේ දළ වශයෙන් සඳහන් කරන ලද රුපියල් මිලියන 19 යනු ඉහත දැක්‌වූ මිලදී ගැනීම සඳහා ප්‍රතිෂ්ඨාව වන දළ වශයෙන් රුපියල් මිලියන 27 න් කොටසකි. අපගේ සේවාදායිකාවගේ ගිණුමට කිසිදිනක රුපියල් මිලියන 34 ක්‌ ප්‍රේෂණය වී නැත. අවස්‌ථානුගත කරුණු අනුව සාරාංශ වශයෙන් ගත් කල

(අ) අපගේ සේවාදායිකාව විසින් ඇය සතු සියලුම සක්‍රීය බැංකු ගිණුම් ඇයගේ වත්කම් සහ වගකීම් ප්‍රකාශනයෙහි ප්‍රකාශ කොට ඇත. සහ

(ආ) ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරියක වශයෙන් පත්කරනු ලැබීමෙන් අනතුරුව අපගේ සේවාදායිකාව විසින් විනිශ්චයකාරියක වශයෙන් ලැබෙන වේතනය සහ තම ආසන්න පවුලේ සාමාජිකයන් වෙතින් හැරුණුවිට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක සිටින කිසි කෙනෙකුගෙන් කිසිදු ප්‍රේෂණයක්‌ ලබා නොමැත.

එබැවින් ඇයගේ පැත්තෙන් කිසිදු මූල්‍යමය ආයෝග්‍යත්වයක්‌ පැහැදිලිවම සිදු වී නොමැත. අපගේ සේවාදායිකාව සෙසු චෝදනාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප කරන අතර ඒවා පහසුවෙන් බිඳහෙළිය හැකිය.

තමා පෙර පරිදිම තම රාජකාරි බියක්‌ හෝ පක්‍ෂභජනයක්‌ නොමැතිව යථා පරිදි ඉටු කරන බව ප්‍රකාශ කරන ලෙස අපගේ සේවාදායිකාව අප වෙත උපදෙස්‌ දී ඇත. ඇය එය ස්‌වාධීනව, අපක්‌ෂපාතව සහ නිර්භයව නීතියට අනුකූලව ඉටු කරනු ඇත.

Source: Divaina (Sri Lanka)