Home » News »

එ.ජා.ප. කෘත්‍යාධිකාරිය ඊයේ රැස්‌වෙයි සජිත්ට තනතුරක්‌ නැහැ

 

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය පත් කිරීම කල් දැමීමට ඊයේ (21 වැනිදා) රැස්‌වූ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය තීරණය කර ඇති අතර පක්‌ෂයේ උප නායක ලෙස ජෝෂප් මයිකල් පෙරේරා සහ ජාතික සංවිධායක ලෙස දයා ගමගේ යන මහත්වරුන් නැවත පත්කර තිබේ.

ඒ අනුව නැවත කෘත්‍යාධිකාරි මණ්‌ඩලය රැස්‌වී තීරණය කරන තෙක්‌ එජාප නියෝජ්‍ය නායක ධුරය පුරප්පාඩු වී පවතී.

පක්‌ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක්‌ පැනනැගී ඇති බැවින් ඒ සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට තීරණය කළ යුතු බවත් එබැවින් ඒ පිළිබඳව කල්ගත යුතු යෑයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්‌ඩලය වෙත දැනුම් දී ඇත.

එජාපයේ නියෝජ්‍ය නායක උප නායක සහ ජාතික සංවිධායක යන ප්‍රධාන තනතුරු පත් කර ගැනීම ඇතුළු කරුණු කීපයක්‌ සම්බන්ධව තීරණය කිරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ඊයේ (21 වැනිදා) විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විණි.

පක්‌ෂයේ නියෝජ්‍ය නායක ධුරය හැරුණු විට අනෙක්‌ ප්‍රධාන තනතුරු සඳහා මීට පෙරද එම තනතුරුවල කටයුතු කරන ලද ජෝෂප් මයිකල් පෙරේරා සහ දයා ගමගේ යන මහත්වරු විරුද්ධත්වයක්‌ නොමැතිව තෝරා පත් කරගෙන ඇත.

කෙසේ වෙතත් එම තනතුරු සඳහා පත්කර ගැනීමට නියමිත ඔවුන් තිදෙනාට ඊයේ (21 වැනිදා) කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමට ව්‍යවස්‌ථාව අනුව නොහැකි බැවින් එම තිදෙනාම ඊයේ දින ඊට පැමිණ නොමැත.

මීට අමතරව මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්‌ඩාර මහතා දැරූ පුත්තලම දිස්‌ත්‍රික්‌ ආසන සංවිධායක ධුරය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාට ලබාදීමට ද ඊයේ (21 වැනිදා) තීරණය වී තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝගයේදී ඊට පක්‌ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන ලද එජාපයෙන් තේරී පත්ව පසුව ආණ්‌ඩුවට එක්‌වූ මන්ත්‍රීවරුන් 15 දෙනකුට එරෙහිව නඩු පැවරීමට ද තීරණය කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණවලට මුහුණ දීමට මන්ත්‍රීවරුන්ගෙන් යුතු කමිටු පත් කිරීමද ඊයේ (21 වැනිදා) එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය වූ බව එජාප ප්‍රකාශකයෙක්‌ “දිවයින”ට පැවැසීය.

පසුගිය 10 වැනි දින එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය රැස්‌වීමට නියමිත වූ නමුදු අගවිනිසුරුවරියට එරෙහිව රජය විසින් ගෙන ආ දොaෂාභියෝගය සහ රටේ පැවැති තත්ත්වය හේතුවෙන් රැස්‌වීම ඊයේට (21 වැනිදාට) කල් දැමුණි.(අකිත පෙරේරා)

Source: Divaina(Sri Lanka)