උතුරේ සිංහලයන්ට ලන්ඩන් අත්වැලක්, යුද්ධය අවසන්වී වසර හතරක් ගතවී ඇතත් උතුරු පලාතෙන් පන්නා දැමු මේ අහිංසක සිංහල මිනිසුන්ට තවමත් කිසිම හව් හරණයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.

 

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අවතැන්ව ඉන්නා සිංහල පවුල්වලට උපකාර කිරීමේ අරමුණෙන් ලන්ඩන් නුවරදී මිතුරු හමුවක් පැවැත්විණි.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසධය,නැගෙනහිර ලන්ඩනයේ සිංහල සුභ සාධක සංගමය සහ කාරුණික හදවත් සංවිධානය එකතුව සුදානම්කර තිබු එම මිතුරු හමුව මඟින් එකතුකරනලද සියලුම මුදල් දැනට උතුරු පළාතේ අවතැන්ව සිටිනා සිංහල පවුල් සඳහා නිවාස සහ අනෙකුත් අවශ්‍යතාවයන් සපයාදීම සඳහා යොදවන බව සංවිධායකයෝ පැවසුහ.

උත්සවය ආරම්භ කැරුණේ මරායා අල්මේදා දියණිය ඉදිරිපත්කළ රමණීය පුජා නැටුමකිනි.ශ්‍රී ලංකාවේ භෟමික අඛණ්ඩතාවය සුරැකීම අරභයා ජීවිත පරිත්‍යාගයෙන් සේවය කළාවුද කරන්නාවුද තිවිධ හමුදාවන්හි, පොලිසියේ, විශේෂ

කාර්ය බලකායේ සහ ග්‍රාම ආරක්ෂක බලකායේ රණ විරුවන්ගේ අසීමිත කැපවීම සිහිපත් කරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුකෙරිණ.

ජාතිහිතෛශී හිත මිතුරන් සඳහා පමණක් සීමාකරන ලද එම එකමුතුව සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

පැමිණ සිටි හිතමිතුරන් පිළිගනිමින් කතාකල මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකික සංසධයේ ජනක අලහප්පෙරුම “අවුරුදු තිහකටත් වඩා දීර්ඝ කාලයක් තිස්සේ ඇදීගිය ද්‍රවිඩ ත්‍රස්‌තවාදයෙන් ශ්‍රී ලංකාවේ කිසිම ජන කොටසකට තඹදොයිත්තුවකවත් සෙතක් සිදු නොවුන

බව ඉතාම පැහැදිලිබවත් එම ව්‍යසනයෙන් මුළු ශ්‍රී ලංකාවටම සිදුවුයේ කියා නිම කළ නොහැකි විනාශයක් වුවත් එමඟින් වැඩිපුරම බැටකෑවේ උතුර නැගෙනහිර සිටි පාරම්පරික සිංහල පදිංචිකරුවන් බව කිසිදාකත් අමතකලයුතු නැතිබවත් පැවසීය.

අලහප්පෙරුම මහතා තවදුරටත් මෙසේ පැවසීය.

“ද්‍රවිඩ ත්‍රස්තවාදයේ ආරම්භයේම උතුරු පළාතේ පරම්පරා ගණනාවක් ජීවත්වූ සියලුම සිංහල පවුල් එම පළාතෙන් පලවා හරිනු ලැබීය. යුද්ධය අවසන්වී වසර හතරක් ගතවී ඇතත් උතුරු පලාතෙන් පන්නා දැමු මේ අහිංසක සිංහල මිනිසුන්ට තවමත් කිසිම හව් හරණයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.

රජයෙන් හෝ වෙනත් කෙනෙකුගෙන්හෝ කිසිම උදව්වක් උපකාරයක් නොලබා වසර ගණනාවක් මහ මඟට වැටී ඉන්නා මේ පවුල් වලට අතදීම සෑම සිංහලයෙකුගේම වගකීම බව පසක්කර ගත යුතුව ඇත.රටක මහජාතිය යැයි කියා ගන්නා පිරිසකට මෙවැනි ඉරණමකට පත්වීමට සිදුවීම ඉතාම ශෝචනීය තත්වයකි.

කොටි ප්‍රකෝටි ගණනක් වැයකරමින් අපුරු වසන්තයක් උතුර පුරාවටම උදාකර ඇතත් උතුරෙන් පන්නා දැමු සිංහලයන්ට නම් තවම ඒ වසන්තයේ

අරුනැළි පේනමානයකටවත් පතිතවී ඇති බවක් නම් පෙනෙන්ට නැත. වසන්තය කිසිදාක උදානොවෙන ඒ අහිංසක සිංහලයන් ඉන්නා අපායෙන් ගොඩගැනීම අපකාගේත් වගකීම බවට පත්වී ඇත.මෙවන් වාතාවරණයක් යටතේ උතුරු පළාතේ අවතැන්ව ඉන්නා සිංහල පවුල්වලට අපට හැකි ප්‍රමාණයකින් උදව් වීම අපගේ පරමාර්ථයයි. මේ අනුව මෙම පවුල් සුදුසු ඉඩම් වල පදිංචි කිරීමත් ඔවුනට ස්ථීර නිවාස සදාදීමත් සඳහා

වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත්තෙමු. අද පැවැත්වෙන මිත්‍ර හමුවේ අරමුණ මෙම වැඩකටයුතු පිළිබඳව අපගේ ජාති මාමක හිත මිතුරන් දැනුවත් කිරීමත් එම කටයුතු සඳහා ඔවුන්ගේ නොමසුරු සහයෝගය ලබාගනීමත්ය”

අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය ” අමතකකරන්න එපා ත්‍රස්තවාදීන් මහමගට ඇදදැමූ මේ සිංහල මිනිස්සු උතුරේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයමින් සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන ගිය වැදගත් මිනිසුන් බව”. උත්සවය අවස්ථාවේදී දොස්තර ඥානිස් සුභසිංහ, දොස්තර කුසුම් සුභසිංහ, ලක්ෂ්මි පෙරේරා සහ දිල්හානී ජගොඩගේ

ඉදිරිපත්කල දේශාභිමානී ගී ප්‍රසංගයක්ද පැවැත්විණි.

ලන්ඩන් නුවර පදිංචි ගොඩ්ෆ්‍රී ද සිල්වා සහ හිතවතුන් කණ්ඩායමක් එකතු කළ මුදලක්ද එදින මෙම සහන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහා පරිත්‍යාග කරනු ලැබීය.

ලන්ඩන් නුවර දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ශ්‍රී ලාංකික සමාජීය වැඩකටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් උදව් උපකාර කරනු ලබන  කරුණා බස්නායක සහ දොස්තර එම.බී.රණතුංග යන මහතුන්ගේ සේවය අගය කරමින් ඔවුන්වෙත සමරු ඵලක ප්‍රදානය කරනු ලැබීය.

පැමිණ සිටි සියලුදෙනාටම ප්‍රනීත ශ්‍රී ලාංකික රාත්‍රී කෑම වේලක්ද ලබාදීමට කටයුතු යොදා තිබුණි. එදින උත්සවය සඳහා ශබ්ධ පරිපාලනයෙන්, සංගීතය සැපයීමෙන්, ආහාර පාන ලබාදීමෙන්,බඩු බාහිරාදිය ගෙන එම සඳහා යාන වාහන ලබාදීමෙන්, ශාලාව සුදානම් කිරීම සහ වෙනත් වැඩකටයුතු සඳහා ශ්‍රමදානයෙන් සහ වෙනත් අනෙක විධ ආකාරයෙන් උදව් උපකාර කල මෙන්ම සහභාගීවූ සියලුදෙනාටම සංවිධායකයෝ තුති පුද කළහ. (තිස්ස මඩවල)

Source: Lankadeepa (Sri Lanka)