Home » News »

රාජ්‍ය නායකයෝ ශ්‍රී ලංකාව පැසසුවා – ජනපති කියයි

 

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් අපේ රටේ දියුණුව සහ සුන්දරත්වය වගේම ආගන්තුක සත්කාර පැසසුමට ලක්‌ කරමින් කථා කළ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (18 වැනිදා) සවස සඳහන් කළේය.

එම රාජ්‍ය නායකයන් ඒ අයුරින් කථාකරන විට මට මගේ රට පිළිබඳව ආඩම්බරයක්‌ දැනුණු බවද ජනාධිපතිවරයා කීය.කොළඹ අඩු ආදායම්ලාභී පවුල් සඳහා දෙමටගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස පන්සීයකින් යුත් මිහිඳු සෙන්පුර මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව අවස්‌ථාව අමතමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

අපිට දොස්‌ පැවරූ උදවියත් රටින් පිටත්වී යැමට පෙර රටේ පැහැදිලිව දැනෙන දියුණුවක්‌ සිදුවී තිබෙන බව සඳහන් කළේ යෑයි ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අපට යුද අපරාධ නගමින් ජාත්‍යන්තරයේ වැරදි මතයක්‌ ගොඩනැඟීමට උත්සාහ දැරීම දවල් සිහිනයක්‌ පමණක්‌ යෑයි ද ජනාධිපතිවරයා පැවසීය.

එම නිවාසලාභීන් කලින් සිටි මානසිකත්වයෙන් මිදී වෙනත් විදියට සිතන්නට පුරුදු විය යුතු බවත්, ඔබේ දරුවනුත් වෛද්‍යවරු, තාක්‍ෂණ ශිල්පීන්, ඉංජිනේරුවන් වනවා දැකීම අපේ අරමුණ යෑයි ද පැවසූ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පරිසරය අපි මේ සකසන්නේ යෑයි වැඩිදුරටත් පැවසීය.

ලබන වසරේ නොවැම්බර් වන විට මෙවැනි දුප්පත් පවුල් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස විසිදහසක්‌ ඉදිකරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මහින්ද චින්තන ඉදිරි දැක්‌ම වැඩපිළිවෙළේ සැමට නිවසක්‌ යන තේමාව යටතේ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් මෙම නිවාස සංකීර්ණය ඉදිකරන ලදී.

ඇමැතිවරුන් වන ඩලස්‌ අලහප්පෙරුම, ඒ. එච්. එම්. µවුසි, විමල් වීරවංශ යන මහත්වරුන් ද කථා කළ අතර ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‍ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත යන අය ද සහභාගි වූහ.

Source: Divaina (Sri Lanka)