හදවතට සමීප වූ හදට ගැයෙන ගී – මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍යය සංගමයේ එක්සත් රාජධානි ශාඛාවේ සංවිධාන ශක්තියෙන්

 

එක්සත් රාජධානියට වෙනදාට වඩා පසුගිය ඔක්තෝඹර් 27 වෙනි ඉරිදා කාලගුණය හරහට හිටියේ අරියාදුවට මෙනි. ඒ මක් නිසාදයත් හදිසියේම කාළ ගුණ අනාවැකියෙන් කියැවුනේ එදිනට දරුණු සුලං තත්වයක් සමඟින් ධාරාණිපාත වර්ෂාවක් ඇති වන නිසාවෙන් අත්‍යවශ්‍යම කටයුත්තකට හැර නිවසින් පිට නොයන ලෙස පවසා තිබූ නිසාවෙනි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කාලගුණ අනාවැකියට වඩා මෙරට අනාවැකි බොහෝ දුරට සත්‍යය නිසාවෙන් දෝ එදින බොහෝ දෙනෙක් තම තමන් ගේ නිවාස වලට වී සිටියත්, සිංහල සුභාවිත ගීතයට ලැදි සහ ආදරය කරන රසවතුන් එම කාලගුණ අනාවැකිය මායිම් නොකළ බව “හදට ගැයෙන ගී” රස විඳින්නට පැමිණි රසවතුන් ගෙන් මනාව තහවුරු විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍යය සංගමයේ එක්සත් රාජධානි ශාඛාවේ සංවිධාන ශක්තියෙන් හදට ගැයෙන ගී සංගීත සන්ධ්‍යාව ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් සරසවි ශ්‍රවණාගාරයේදී වේදිකාගත විණි.

පැමිණ සිටි පිරිස ධර්මරාජ විද්‍යාලයීය ආදි සිසුන් වෙනුවෙන් සභාපති උපුල් ඒකනායක විසින් පිලිගනු ලැබූ අතර ධර්මරාජ පාසල් මාතාවගෙන් ලැබු පන්නරය සහ ගීතය සාහිත්‍යය රස වින්දනය පිළිබඳව ලැබූ ගුරු හරුකම් මෙවන් කළාත්මක කටයුතු සංවිධානය කිරීමට මහඟු අත්වැලක් වුණු බව සිහිපත් කළේය.

ප්‍රසංගය සංවිධානය කිරීමෙහිලා මහත් පරිශ්‍රමයක් දැරූ ධර්මරාජ ආදී සිසුන් වන සපුමල් වත්තේආරච්චි, උදේනි අමරකෝන්, ආසිරි බණ්ඩාර සහ උචිත හේරත් වෙත විශේෂ ස්තුතියක් පුද කළ අතර එම ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ආදී ශිෂ්‍යය සංගමයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහ ලෙච්වර්ත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සිංහල ගීය සාරවත් කෙතක් කළ සම්මානණීය ගායනවේදීන් වන පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, දීපිකා ප්‍රියදර්ශිණී, ටී එම් ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ මෙන්ම කසුන් කල්හාර ජයවර්ධන වැනි නව පරපුරේ ශිල්පීන්ගේ ගී පොකුරක් හදට ගැයෙන ගී ප්‍රසංගයේ ගීතාවලියට එකතු විය.

එක්සත් රාජධානියේ වෙසෙන සිංහල සුභාවිත ගීයට කවදත් පෙම් බඳින ප්‍රතිභාපූර්ණ ගායනවේදියෙකු වන රොෂාන් ජයකොඩි සමඟින් චාන්දනී ඩයස්, මනේකා ජයවර්ධන, ගංගා ජයසූරිය, රුෂිණි ගොඩකන්ද සහ චාන්දි බුලත්සිංහල ගීත ගායනයෙන් දායක විය. තවද කසුනි ඩයස් සහ හංසනී ජයවර්ධන එකතු කළ මනරම් නර්තනය ප්‍රසංගයේ රසයට උත්තේජනයක්ම විය.

කාර්‍යය බහුල ජීවිතයේ අවිවේකී විඩාබර මනසට තෙහෝරාවක රසාලිප්ත වින්දනයක් එක් කරන්නට හදට ගයෙන ගී ප්‍රසංගයට හැකිවිණි යැයි කීම අතිශෝක්තියක් නොවන්නේ ප්‍රසංගය නැරඹීමට පැමිණි රසවතුන් දැක්වූ යහපත් ප්‍රතිචාරයන් නිසාවෙනි.

සාමාන්‍යයෙන් සතිපතා පාහේ සංගීත ප්‍රසංග ලන්ඩනය පුරාවටම පැවතුනද, හදට ගැයෙනෙ ගී ප්‍රසංගය වෙනස්ම මගක් ගැනීමට ප්‍රධානතම සාධකය වූයේ එහි අන්තර්ගත ගීතාවලියයි. ඒ මක් නිසාදයත් බොහෝ සංගීත ප්‍රසංග සංවිධානය වෙන්නේ ප්‍රවේගකාරී අධිවේගී සංගීතය සමඟින්  ගීත අසනවාට වඩා ප්‍රේක්‍ෂකයන් හට නටන්නට අවස්ථාව ලබා දෙමිනුයි. නමුත් මෙම ප්‍රසංගය සම්භාව්‍යය ප්‍රසංගයක් රසවිඳින අයුරින් මනා ලෙස ගලා ගියේ ලතාවට නිසොල්මනේ ගලා බසිනා මහා ගංගාවක් මෙනි.

ආදී ධර්මරාජ සිසුවෙකු වන ලන්ඩනයේ වෙසෙන ආසිරි බණ්‍ඩාරයන් තම සුපුරුදු ආමන්ත්‍රණයෙන් හදට ගැයෙන ගී ප්‍රේක්‍ෂක හදවතට වඩාත් සමීප කළ අතර ගොඩ්ෆ්‍රි සහ ඩෙක්ස්ටර් ද සිල්වා විසින් ශබ්ද පරිපාලන සහ ආලෝක කටයුතු සිදු කරණ ලදී. ඡායා රූ ධර්මරාජ ආදී සිසු ඉන්දික දාස්වත්ත.