Home » News »

1999 දී ඡන්ද රැලියේ මිනීමැරූ පස්‌ දෙනාම එල්ලුම් ගස්‌

 

බිබිල යල්කුඹුර ප්‍රදේශයේ 1999 වර්ෂයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ රැලියකට කඩාවැදී එහි සිටි අහිංසක ගොවීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ චූදිතයන් පස්‌දෙනකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (14 වැනිදා) මරණ දඬුවම නියම කළේය.

මෙසේ මරණ දඬුවම් ලැබුවේ එවකට පොදුජන එක්‌සත් පෙරමුණ මොනරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි විජිත් විජිතමුණි සොයිසා මහතාගේ ආධාරකරුවන් වූ හිටපු ග්‍රාමාරක්‍ෂක නිලධාරියකු, වැඩ තහනමට ලක්‌වූ පොලිස්‌ කොස්‌තාපල්වරයකු ඇතුළු පස්‌දෙනකුය.

වැඩ තහනමට ලක්‌වූ පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ උදය කාන්ත විජිතවීර, ග්‍රාමාරක්‍ෂක භටයකු වූ චමින්ද දිසානායක, සුමිත් අශෝක පුංචිහේවා, ටී. එම්. අමරසේන, එච්. එම්. මංජුල කුමාර යන චූදිතයන් පස්‌දෙනාට මෙසේ මරණ දඬුවම නියම කෙරිණි.

ඉකුත් 1999 වර්ෂයේ දෙසැම්බර් මස 09 වැනිදා සවස 5.00 ට පමණ බිබිල යල්කුඹුර ප්‍රදේශයේ එක්‌සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කළ රැස්‌වීමක්‌ පැවැත්විණි.

මොනරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පැවැති අතර එය වහාම නතර කරන ලෙස දිගින් දිගටම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මොනරාගල සංවිධායකවරුන් දැනුම්දී තිබිණි.

එහෙත් ඒ තර්ජන ගර්ජන ගණනකට නොගත් රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්‌වීමක්‌ බිබිල යල්කුඹුර ප්‍රදේශයේ පවත්වනු ලැබීය.

ඒ අවස්‌ථාවේ ලොරියක නැඟී පැමිණි විජිත් විජිතමුණි සොයිසා මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ පොලිස්‌ නිලධාරීන් බලා සිටියදී එක්‌සත් ජාතික පක්‍ෂ රැලියට පැමිණ සිටි පිරිසට ඉවක්‌ බවක්‌ නොමැතිව වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

එම ප්‍රහාරයෙන් අහිංසක ගොවීන් දෙදෙනකු එච්. එම්. ප්‍රේමචJද්‍ර සහ එම්. එම්. දයාරත්න යන අය ඝාතනයටලක්‌වූ අතර තවත් දෙදෙනෙක්‌ බරපතළ තුවාල ලැබූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හිටපු ග්‍රාමාරක්‍ෂක නිලධාරියා, වැඩ තහනමට ලක්‌වූ කොස්‌තාපල්වරයා ඇතුළු පස්‌දෙනකු අත්අඩංගුවට ගත් අතර වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය ද සොයාගන්නා ලදී.

පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීම අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන්

වැරැදිකරුවන් වූ චූදිතයන් පස්‌දෙනා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයකදී බෝගම්බර බන්ධනාගාරයේදී එල්ලා මැරීමට මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියම කළේය. (හේමන්ත රන්දුණු ,රවීඳු ගුණතිලක සහ ජගත් නයන කුමාර)

Source: Divaina (Sri Lanka)