Home » News »

බ්‍රිතාන්‍යයේ ටැක්සි ලංකාවේ සංචාරක කර්මාන්තයට තල්ලුවක් දෙයි

 
[ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට]
ලන්ඩනය, බර්මින්හැම් සහ මැන්චෙස්ටර් යන බ්‍රිතාන්‍යයේ ප්‍රධානම නගර තුනක ටැක්සි 300ක් ශ්‍රී ලංකාවේ අසිරිය විදහාපාන අලංකාර ඡායාරුප ප්‍රදර්ශනය කරමින් මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ඉදිරිපත් වී තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලොව පුරා ප්‍රචලිත කිරීමේ ප්‍රචාරණ ක්‍රියාවලියේ මුල් පියවරක් ලෙස බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය සහ කොරියාව යන රටවල සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ගත් පියවරක බ්‍රිතාන්‍යය ඉලක්ක කරමින් ගෙන යන ප්‍රචාරක කටයුත්තේ එක් අංගයක් ලෙස මෙය නම් කල හැකිය.
මෙමගින් එංගලන්තයේ අනෙකුත් ප්‍රධාන නගරද ආවරණය වන පරිදි ලන්ඩනය, බර්මින්හැම් සහ මැන්චෙස්ටර් යන නගර මුල් කරගෙන එක් නගරයකට ටැක්සි 100 බැගින් පුරා සති 12ක්  මුළුල්ලේ මෙලෙස ටැක්සි භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බ්‍රිතාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු සැලසුම් සකසමින් තිබේ.  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය මෙම ප්‍රචාරණ කටයුත්ත සඳහා බ්‍රිතාන්‍යයේ මීඩියා ඒජන්සි ගෘප් නමැති දැන්වීම් ප්‍රචාරක ආයතනයක් සමග ගිවිසුමකට එළඹ ගෙන ඇත.
එම දැන්වීම් ප්‍රචාරක ආයතනය සඳහන් කර තිබුනේ අගෝස්තු 11 දින සිට ආරම්භ කරන මෙම ප්‍රචාරක කටයුත්ත මගින් ශ්‍රී ලංකාවේ ආකර්ශනීය සංචාරක මර්මස්ථාන නිරුපනය කරන දර්ශනීය ඡායාරුප බ්‍රිතාන්‍ය ජනතාවගේ ඇස ගැටීමට සලස්වන බවයි. “ශ්‍රී ලංකා 2014 අ ජර්නි අවෙයිට්ස්- ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන්න” ලෙස ඇරයුම් කෙරෙන තේමාවක් යටතේ නම් කර ඇති මෙම ප්‍රචාරණ කටයුත්ත මගින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර තුනක අති විශාල ජනතාවක් අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව ලබා දෙන පණිවිඩය මගින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇති බවත් මෙය ඉතාමත්ම සාර්ථක ප්‍රචාරණ මාධ්‍යයක් බවත් මීඩියා ඒජන්සි ගෘප් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලී ඩෙන්ටිත් මහතා පැවසිය. මෙමගින් ටැක්සි වල ගමන් කරන මගීන්ටත්, පාරේ එහා මෙහා යන අනෙකුත් වාහන වල යන ජනතාවටත්, පදිකයින්ටත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව කිසියම් හෝ පණිවුඩයක් ලබාදීම මෙමගින් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය පසුගිය මාර්තුවේද මේ ආකාරයටම ජර්මනියේ බර්ලින් නගරය මුලික කරගෙන ටැක්සි භාවිතයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නාග සිටුවීමට අවශ්‍ය ප්‍රචාරණයක් ලබා දීමට කටයුතු කර තිබුණි. මීට ප්‍රථම ශ්‍රී ලංකා ගුවන් සේවයත් ලන්ඩනයේ ටැක්සි භාවිතා කරමින් මෙවැනිම ප්‍රචාරණ කටයුත්තක නියැළුණි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර අලංකාරය, රමණිය මුහුදු තිරය, ඓතිහාසික නටබුන් සහ සිද්ධස්ථාන, වන ජීවින්, ආයුර්වේදය ආදී විවිධ  මාතෘකා නිරුපනය කෙරෙන ආකර්ශනීය ඡායාරුප ඇලවූ ටැක්සි එංගලන්තයේ විදි පුරා, නගර හරහා ඇදී යන දර්ශනය කාගේත් අවධානයටත් ආකර්ෂණයටත් ලක්වී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සවියක් වේ යයි කාගේත් පැතුමයි.පසුගිය වසර දෙකහමාර තුන ඇතුලත ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානිවන බොහෝ දේ සිදුවෙද්දී එයට ප්‍රතිචාර වශයෙන් අර්ථවත්, හරවත් උපායශීලි ලෙසින් කිසිවක් සිදු නොවුණු වකවානුවක ආර්ථික සංවර්ධන අමාත්‍යංශයත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයත් මැදිහත් වී කරන මෙම ප්‍රචාරක කටයුත්තෙන් හෝ ශ්‍රී ලංකාවට කිසියම් යහපත් ප්‍රචාරණයක් ලැබුනහොත් එය පොදුවේ රටටත් සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් සෙතක් වනු ඇත.
  ඡායාරුප: ප්‍රනීත් හෙට්ටිආරච්චි