* තමිල්නාඩු දේශපාලන පක්ෂ කරන ප්‍රකාශ හෙළා දකිනවා
– ඉන්දියා පාර්ලිමේන්තු විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ්
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට කිසි විටෙකත් ද්‍රවිඩ රාජ්‍යයක් අවශ්‍ය නොවන බව ඉන්දියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ දෙමළ කණ්ඩායම්වලට අවශ්‍යව ඇත්තේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ අව්‍යාජ දේශපාලන විසදුමක් බව පවසා ඇති විපක්ෂ නායිකාව එවැනි අවස්ථාවක තමිල්නාඩු ඇතැම් දේශපාලඥයන් ද්‍රවිඩ ඊළමක් ඉල්ලා සිටීම දැඩිලෙස විවේචනයට ලක්කර තිබේ.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශකර ඇත්තේ ඉන්දියාවේ මදුරෙයිහිදී පැවැති භාරතීය ජනතා පක්ෂයේ පස්වන ප්‍රාන්ත සමුළුව අමතමින් බව වාර්තා වෙයි. ඉන්දියාවේ එක්සත්භාවය සහ ඒකාග්‍රතාවට ගරු කරන්නාසේම ශ්‍රී ලංකාවේ ඒක්සත්භාවයට හා ඒකාග්‍රතාවයට ගරු කළයුතු බව ප්‍රකාශකර ඇති සුෂ්මා ස්වරාජ් මහත්මිය තමිල්නාඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ ඉල්ලා සිටින පරිදි වෙනම දෙමළ ඊළමක් ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාවට අවශ්‍ය නොවන බවද පවසා තිබේ.
මේ අතර තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් උදෙසා කරන ප්‍රකාශ හෙළා දකින බවද ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශකර ඇත.
මෙරට දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය හෝ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා නොසිටින අවස්ථාවක තමිල්නාඩු දේශපාලන පක්ෂ මෙසේ ඉල්ලීම් කිරීම පුදුම සහගත බවද ශ්‍රී ලංකාවේ දෙමල ඊලමක් අවශ්‍ය බවට ප්‍රකාශකර ඇත්තේ තමිල්නාඩු දේශපාලකයන් කිහිපදෙනෙකු පමණක් බවද ඇය ප්‍රකාශකර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත්කර ගැනීමේ අරමුණින් සහ ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන්හි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තමා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව සිහිපත්කර තිබෙන ඉන්දීය විපක්ෂ නායිකාව එම සංචාරය බෙහෙවින්ම සාර්ථක වී තිබෙන බවද පවසා තිබේ.
ඊට අමතරව ඒ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තම සංචාරය අතරතුර දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමඟ සාකච්ඡා කළ බවත් දේශපාලන විසඳුමක් සඳහා ඔවුන් බලාපොරොත්තු තබාගෙන ඇති බවත්ය. දෙමළ ජනතාව ගරු කරන ආර්. සම්බන්ධන් වැනි නායකයකු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් බලාපොරොත්තු වන්නේ නම් තමිල්නාඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ බෙදුම්වාදී ගැටලුවක් නඟන්නේ ඇයිදැයි ස්වරාජ් මහත්මිය මෙහිදී ප්‍රශ්න කර තිබේ.
මහින්ද අලුත්ගෙදර
Source : Dinamina (Sri Lanka)