සරත් ෆොන්සේකාට ඇප

විශ්‍රාම යෑමෙන් අනතුරුව තම ආරක්ෂාවට අනුයුක්ත නොකළ යුද හමුදා සෙබළුන් 12 දෙනකු ට රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත්කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන නඩුවේ පළමු විත්තිකරුවූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රුපියල් දස ලක්ෂයක මුදල් හා රුපියල් විසිපන්ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ(18) නියෝග කෙළේය.

ඇප නියම කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතාගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත්කරන ලෙසට නියම කෙළේය. විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසරය මත විදේශ ගතවියහැකි බව සරත් ෆොන්සේකා මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කෙළේය.

ඇප නියම කිරීමෙන් පසු සරත් ෆොන්සේකා මහතාට ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් වූ අනෝමා ෆොන්සේකා මහත්මියගේ සහෝදරියෙකු වූ චාන්දනී මුණසිංහ මහත්මිය හා සරත් ෆොන්සේකා මහතගේ ඥාති මුනුපුරකු වූ සංජීව කුමාර යන අය ඇපකරුවන් ලෙසට අධිකරණය බාරගත්තේය.

රජයේ සේවකයකු වූ සරත් ෆොන්සේකා මහතා ට නියම කළ රුපියල් දස ලක්ෂයේ මුදල් ඇපය තැබීම සදහා වෙනත් දිනයක් ලබාදෙන ‍‍ලෙසට නීතීඥ සාලිය පීරිස් මහතා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවකු ඇප මත මුදාහැරිය හැක්කේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුව පමණක් බවයි. සරත් ෆොන්සේකා මහතා කොළඹ නවලෝක රෝහලේ තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ වෛද්‍ය වාර්තාවක්ද සමඟ අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

ඒ අනුව ඇප අස්සන් කිරීමට අවශ්‍ය ලේඛන කොළඹ නවලෝක රෝහල වෙත රැගෙනගොස් විත්තිකරුගේ අස්සන් ලබාගන්නා ලෙසට විනිසුරුවරයා කෙළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කෙළේය. මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා ඊයේ මේ නඩුව අධිකරණය හමුවේ කැදවා තිබුණි.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සාලිය පීරිස් මහතා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට දන්වා සිටියේ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මේ නඩුවේ ඇප අයැදුමක් ඉදිරිපත් කිරීම සදහා මෝසමක් මගින් නඩුව කැදවන ලෙසට ඉල්ලීමක් කළ බවයි.

මේ නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත්කරන පළමු අවස්ථාව මෙය වන බවද 2010 සැප්තැම්බර් මස 28 වැනිදා සිට මේ දක්වා මෙම නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය බාරයේ පසු වූ බවද නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

මේ නඩුවේ පළමු විත්තිකරු යන සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් බවට වාර්තා වූ බවත් දැනට සරත් ෆොන්සේකා මහතාට තිබෙන දඩුවම් සම්බන්ධයෙන් යම් සහනයක් ලැබෙන්නේනම් එම සහනයෙන් ලැබෙන නිදහස බුක්ති විඳීමට ඔහු බන්ධනාගාරගතව සිටීමෙන් නොහැකි වන බවත් පවසා සිටි නිතීඥ සාලිය පීරිස් මහතා සුදුසු කොන්දේසි මත සරත් ෆොන්සේකා මහතා ට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

මේ නඩුව සම්බන්ධයෙන් පළමු විත්තිකරු වන සරත් ෆොන්සේකා මහතා ඇප ඇයදූ පළමු අවස්ථාව මෙය වන බවත් මේ නඩුවේ ඇති චෝදනා මෙම අධිකරණයෙන් ඇප නියම කළ නොහැකි චෝදනා නොවන බවත් අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කර සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ දමිත් තොටවත්ත මහතා විත්තියේ ඇප අයැදුම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ නොවන බව දන්වා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට ඇප නියම කරන ලදී. මේ නඩුවේ දෙවැනි විත්තිකරු වූ සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය ආනෝල්ඩ් ද සිල්වා මහතා මිට පෙර අධිකරණ ඇප මත මුදාහැර ඇත.

2009 සැප්තැම්බර් 15 වැනිදාත් 2010 ජනවාරි මස 01 වැනිදාත් අතර කාලයේ යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව තමන්ට අනුයුක්ත නොකර සිටි යුද හමුදා සෙබළුන් 12 දෙනකු ළඟතබාගෙන සිටින ලදැයිද ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදැයිද එම සෙබළුන්ට එරෙහිව කටයුතු කිරීමට යුද හමුදා පොලිසියේ සෙබළුන්ට ඉඩ ලබා නොදෙන ලදැයිද පවසමින් චෝදනා 41ක් යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන රියාස් බාරි හා දමිත් තොටවත්ත යන මහත්වරු පෙනී සිටියහ. විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතී සාලිය පීරිස් ,නිලන්ති පීරිස් , රුක්ෂාන් නානායක්කාර, දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන් අතුළු නීතීඥවරු මඩුල්ලක් පෙනී සිටියහ.

කුමුදු හෙට්ටිආරච්චි
Source : Dinamina (Sri Lanka)