ගෙවා දැමූ සිර දඬුවම ඉවත් නොකිරීම නිසා ෆොන්සේකාට සම්පූර්ණ නිදහසක්‌ ලැබී නෑ ප්‍රජා අයිතිය වසර 7 කට අහිමි වෙලා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමාව යටතේ නිදහස්‌ කිරීමේදී සම්පූර්ණ නිදහසක්‌ යටතේ නිදහස්‌ කර නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා “දිවයින” ට පැවසුවේය.

ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා මහතාට නිදහස ලබාදීමේදී දෙවැනි යුධාධිකරණය මගින් පනවා තිබූ සිර දඬුවම් කාලසීමාවේ ගෙවී ගිය කාලය උදෙසා නිදහස්‌ කිරීමක්‌ සිදුව නැති බැවින් ඉදිරි වසර හතක කාලයකට ඒ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වන බව ද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස්‌ කිරීම සම්බන්ධයෙන් අදහස්‌ පළ කරමින් සිල්වා මහතා මෙසේ ද කියා සිටියේය.

ජනපතිවරයා සිය බලතල අනුව කිසියම් සිරකරුවකුට සමාව ප්‍රදානය කර නිදහස්‌ කිරීමක්‌ සිදු කරන්නේ නම් එය දේශපාලන ක්‍රියාවලියක්‌ ලෙසින් නොව රාජ්‍ය නායකයා ලෙසින් සිදුකළ යුතුයි. සරත් ෆොන්සේකා මහතා නිදහස ලැබිය යුතු නඩු දෙකක්‌ තිබුණා. ඒවා නම් මහාධිකරණය මගින් සුදුකොඩි නඩුවට අදාළව ලබා දුන් දඬුවමින් හා දෙවැනි යුධාධිකරණය මගින් ලබාදුන් දඬුවමින්. ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා මහතාට සුදු කොඩි නඩුවෙන් නිදහස ලබාදීමක්‌ සිදුවෙලා තියෙනවා. ඒත් යුධාධිකරණය මගින් පනවා ඒ මහතා ගෙවනු ලැබූ සිර දඬුවමින් නිදහස්‌ කිරීමක්‌ සිදුවෙලා නෑ. එහිදී නිදහස්‌ කිරීමක්‌ කර ඇත්තේ ඉදිරියට ගෙවීමට ඇති දඬුවමින් නිදහස්‌ කිරීමක්‌ පමණයි.

ෆොන්සේකා මහතා ගෙවනු ලැබූ සිර දඬුවමින් නිදහස්‌ වීමක්‌ නොවීම නිසා ඒ මහතාට ඉදිරි වසර හතක කාලයකට ප්‍රජා අයිතිය අහෝසි වෙනවා. මෙහිදී එකම කරුණක්‌ උදෙසා ආකල්ප දෙකක්‌ මතුව ඇති බව පෙනී යනවා.

ඉතා සූක්‍ෂම ආකාරයකින් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීමේ ක්‍රියාවලිය තුළ ඔහු එළිමහන් සිරකරුවෙක්‌ බවට පත්කර තිබෙනවා. ඔහු ගෙවූ සිර දඬුවම ද ඉවත් කළහොත් පමණයි ප්‍රජා අයිතිය හිමිවන්නේ.

සාමාන්‍ය බන්ධනාගාර ක්‍රමවේදය අනුව මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ සිර දඬුවම අවසන් වුවද ඔහු තවදුරටත් සිර දඬුවම් ගෙවිය යුතු බවට නීතිපතිවරයා නිගමනය කර ඇති තත්ත්වයක එම ගෙවීමට ඇති දඬුවමින් පමණක්‌ මෙහිදී නිදහස්‌ කිරීමක්‌ කර ඇති බව පැහැදිලිය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීමේදී ව්‍යවස්‌ථාව මගින් හිමි සිය බලතල ක්‍රියාත්මක කර ඇත්තේ සිය දේශපාලන ප්‍රතිවාදියාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි කිරීමක්‌ ද සිදුකරමින්. අත්අඩංගුවට ගැනීමේ සිට ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ද ක්‍රියා කිරීමට හැකියාවක්‌ ඇත්තේ නෑ. ජනාධිපතිවරයා පවා පිළිගෙන තිබුණා ෆොන්සේකා මහතාට අසාධාරණයක්‌ සිදුව ඇති බව. එම අසාධාරණය ලබාදී ඇති නිදහසින් ඉස්‌මතු විය යුතුයි.

සමන්ත ඉලේපෙරුම
දිවයින