ප්රශ්නය – ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ හඬ එදා වගේම ඉදිරියටත් අවධියෙන්ද?
පිළිතුර – අනිවාර්යයෙන්ම එය ඉදිරියටත් එසේමයි. දැන් උදාවී ඇත්තේ එය තව තවත් ප්‍රබල ලෙසින් සිදුකිරීමේ කාලයකුයි. අත්අඩංගුවට ගෙන හිර කරලා හඬ බාල කරන්න උත්සාහ කළත්, මානසිකව ඇද දැමීමට සිතා සිටියත් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ගත් ඒ පියවර නතර කරන්න කාටත් බැහැ. පැහැදිලිවම අරමුණ කරා ගමන් කරනු ලබනවා.
හමුදාපතිවරයා ලෙසින් සිටියදී පැවරුණු වගකීමේ කිසිදු අඩුවක් නැතිව ඉටුකළා සේ මෙම වගකීමද පැහැර හැරීමක් සිදු නොකරන බවට කිව යුතුයි. මේ වන විට ලබාගෙන ඇති පළපුරුද්ද හා අත්දැකීම් මත දේශපාලනඥයින් රටට කරන හානිය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ඒ ආකාරයෙන්ම සිදු වෙනවා ඇති.
ප්රශ්නය – වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය සරත් ෆොන්සේකායි, නිදහස ලැබූ සරත් ෆොන්සේකායි පිළිබඳව විග්‍රහයක් කළොත්?
පිළිතුර – සිරගතවූ සරත් ෆොන්සේකා යනු සිය වෘත්තියෙන් විශ්‍රාම ගිය සැණින් දේශපාලනයට පිවිසි අයෙක්. රජය ගෙන ගිය ක්‍රියාපිළිවෙත අනුමත නොකිරීම නිසා එයට එරෙහි වූ පුද්ගලයෙක් තමයි එලෙස සිරගත කරනු ලැබූයේ. එහි ආදීනවලට මට පමණක් නොවේ රටේ බහුතර ජනතාවට පවා මුහුණ දෙන්නට වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳවැටුණා. මා වටා සිටි ජනතාවගෙන් ලැබූ පන්නරයත් සමගයි සිරගත වන්නට වුණේ.
බන්ධනාගාරයෙන් එළියට පැමිණ සිටින සරත් ෆොන්සේකාට පසුගිය කාලසීමාව තුළදී ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වූ කාලය කැපකරන්න සිදුව තියෙනවා. සරත් ෆොන්සේකාව සිරගත කර ජනතාවගෙන් ඈත් කරන්න කවුරු හෝ උත්සාහ කළා නම් ඉදිරියේදී ඒ අය වටහා ගනී එහි නිරර්ථක බව. එය කිසිවකුට නැවැත්විය හැකි ගමනක් නොවේ.
රජයේ ක්‍රියාපිළිවෙත අනුමත නොකරන විශාල ජන සමූහයක් සමග විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙක් තමයි රජය හිර කළේ. එහි ආදීනවට මා කෙරෙහි විශ්වාස තැබූ ජනතාවට ද මුහුණ දෙන්නට සිදුවුණා. ඒ ජනතා සිතුම් පැතුම් බිඳවැටුණා. ඒ අය බොහෝ ලෙස කනගාටුවට පත් වුණා. දැන් ඉතින් එළියට ආපු සරත් ෆොන්සේකා, ඒ අහිමි වූ ජනතා බලාපොරොත්තු ඉටුකර දීමට මූලික වෙනවා. ඒ සඳහා කාලය තියෙනවා. ටික කාලයක් ජනතාවගෙන් ඈත්කර තැබුවත් එළියට ආපු සරත් ෆොන්සේකා ඒ සඳහා ඇපකැප වෙන බව කිව යුතුයි. එය නිදහස් වූ සරත් ෆොන්සේකාගේ වගකීමක් වෙනවා.
ප්රශ්නය – යුද්ධය, දේශපාලනය, සිරගත වීම ඔබේ ජීවිත කාලය තුළ මූලිකව අත්විඳින්නට වූ සිද්ධීන් ත්‍රිත්වයක්. අද දවසේදී එම ජීවිත අත්දැකීම් දෙස බලන විටදී ඇති වන හැඟීම කෙබඳු එකක්ද?
පිළිතුර – ඔබ සඳහන් කළ මාර්ග තුනම දෛවෝපගතව මා ගමන් කළ යුතු මාර්ග තුනක් ලෙසයි මා දකින්නේ. මේ හැම මාර්ගයකම ගමන් කරන්න වුණේ රට වෙනුවෙන්. හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් දේශපාලනයට එන විට සිරගත කිරීම්, පහරදීම් සිදු වේ යෑයි කියා සිතා සිටි දෙයක්. ඒ කෙරෙහි කිසිදු සැලීමක් ඇති වුණේ නෑ. මම දැනගෙන සිටියා මා කාට විරුද්ධවද ගමන් කරන්නේ. ඔවුන් මට, මගේ පවුලේ අයට මඩගහන බව හිරිහැර කරන බව. ඒ පිළිබඳ තේරුම් අරන් දේශපාලනයට පිවිසි නිසා ඔවුන්ගේ ප්‍රති ප්‍රහාරවලට නොසැලී නොවැටී සිටීමට හැකි වුණා.
යහපත් අරමුණක් පෙරදැරි කොට ගෙන දේශපාලනයට අවතීර්ණ වූ නිසා පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති නිසා විරුද්ධවාදියාගේ ප්රහාරයන්ට නොබියව මුහුණ දෙන්නට හැකි වුණා.
මගේ දේශපාලන අරමුණ, උද්ධෘතය ”අප හැදෙන්න නොව – රට හදන්න” යන්නයි. එවැනි අරමුණකින් දේශපාලනයට පිවිසි මට එයින් රිදෙන කැපී විසිවී යා හැකි අයගෙන් ඉදිරියේදී අත්විඳින්නට වූ දේවලට වඩා වැඩි දෙයකට වුවද මුහුණ දෙන්නට සිදු වේවි. එය අපගේ ගමන තවත් ශක්තිමත් කරනු ඇතියි. එවැනි ක්‍රියාමාර්ග තුළින් මාව අසරණ කරන්න කණස්සල්ලට පත් කරන්න සිතා සිටිනවා නම් එය ඔවුන් වෙලී සිටින විශාල මුළාවක්.
ප්රශ්නය – ඔබව යුද හමුදාපතිවරයා ලෙස පත් කළ ඒවගේම හොඳම හමුදාපතිවරයා ලෙස අගය කළ රාජපක්ෂ පාලනය සමග ඔබ ඇති විරසකය කුමක්ද?
පිළිතුර – ඇත්තවශයෙන්ම කියනවා නම් රාජපක්ෂ පාලනය ශක්තිමත් වුණේ හමුදාව විසින් කළ යුද්ධය ජයග්‍රහණය කළ නිසායි. ඔවුන්ට කතා කරන්නට ඇත්තේ එකම දෙයයි. ඒ හමුදාවේ යුද ජයග්‍රහණය පමණයි.
කොටි නායක ප්රභාකරන්ගේ අවසානයත් සමග යුද ජයග්‍රහණය රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් යථාර්ථයක් බවට පත් කරන්නේ කෙසේද කියා මතයක් ඇති වුණා. යුද්ධය නිසා පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට යහපතක් උදාකර දී ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට උසස් කිරීමට වහා කටයුතු කළ යුතුයි.
මේ අය යුද ජයග්‍රහණය තම දේශපාලන වාසිය වෙනුවෙන් යොදා ගනිමින් පුරසාරම් දෙඩීම ඇරෙන්න යුද්ධයෙන් පසු එම ප්‍රදේශවලට, ජනතාවට සිදුවිය යුතු යුතුකම්, මූලික අවශ්‍යතා සිදු කිරීමට කටයුතු කළේ නෑ. දේශපාලන බලය රැකගැනීමට පමණක් යුද ජයග්‍රහණය යොදා ගත්තා මිස ජනතාව රැකගැනීම වෙනුවෙන් ඔවුන් යොමු වුණේ නෑ.
රාජ්‍ය පාලනයෙන් සිදුවිය යුත්තේ ජනතාව රැකගැනීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම. ඒ වෙනුවෙන් අවතීර්ණයක් නොමැති නම් යුද සෙබළුන් ජීවිත පරදුවට තබා
රැකගත් රටට වන හානිය තවත් වැඩි විය හැකියි. රාජ්‍ය පාලනයේ මෙම ක්‍රියාපිළිවෙත වෙනස් කළ යුතු අත්‍යවශ්‍ය සාධකයක් බවට එම අවස්ථාවේදී මා තේරුම් ගත්තා. ඒ සඳහා රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියා සිතා මේ ගමන් මාර්ගයට අවතීර්ණ වුණා. ඊට එරෙහිව මා හට පහර දෙන අය එය පෞද්ගලික වෛරයක් බවට පත් කරගෙන තියෙනවා. පැහැදිලි අරමුණු ඇතිව ගමන් මාර්ගයකට පිවිස සිටින මට එහිදී පෞද්ගලික අරමුණු ඇත්තේ නැති බව කිව යුතුයි. එය අද දවසේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකමක් ලෙසයි, මා සලකන්නේ.
කවුරුහරි රාජ්‍ය නායකයාට විරුද්ධව දේශපාලනය කළ රක වැරැදියි කියනවා නම් එහි දෙපැත්තක් තිබෙනවා. හමුදාවේ පවා සම්ප්රදායක් තියෙනවා කනිෂ්ඨයා ජ්‍යෙෂ්ඨයාට පමණක් නොවේ ජ්‍යෙෂ්ඨයා කනිෂ්ඨයාටද යුතුකම් කළ යුතු බවට.
මා හමුදාපතිවරයා ලෙස පත් කළ අයට යුතුකමක් තියෙනවා යුද ජයග්‍රහණය අත්කර දුන් මට සාධාරණයක් ඉටුකරන්න. පොදුවේ රටවැසියා වෙනුවෙන්ද එය කළ යුතුයි. ඒත් ඒ අයගේ ක්‍රියාදාම අනුමත කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඔවුන් සමග තවදුරටත් සිටීමෙන් රටට, ජනතාවට වන යහපතක් නැති බව තේරුම් ගියා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාදාමය දැක දැක එයින් ඉවත් වී අහකට වෙලා ඉන්නත් බැරි තත්ත්වයක් උදා වුණා. මෙන්න මේ අනුමත නොකිරීම, ඒ තුළින් ඉවත් වීම තුළ තමයි මතවාදයක් ඇතිවනු ලබන්නේ. රාජ්‍ය පාලනය තුළින් රටට ජනතාවට වන හානිය දැකලා අහක බලාගෙන ඉන්න බැරි නිසා දේශපාලනයට පැමිණීම තුළ තමයි මතවාදයක් ගොඩනැඟෙන්නේ.
ප්රශ්නය – ජනාධිපතිවරයා කියා තිබුණා, ඔබ සිරගත වීම තුළින් අසාධාරණයක් සිදුව ඇති බව. එසේ නම් ඔබව අත්අඩංගුවට ගැනීමට, සිරගත කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් සිදුවෙලා නැතිද?
පිළිතුර – මාව පළමුව අත්අඩංගුවට ගත්තේ හමුදා පොලිසිය මගිනුයි. යුද්ධාධිකරණ පත්කර චෝදනාවලට අත්සන් කර ඇත්තේ ජනාධිපතිවරයා. වරදකරු වීම අනුමත කර දඬුවම් කළේ ජනාධිපතිවරයා. මේවා ඒ වෙලාවේ තේරුණේ නැද්ද කියන එක දැක්කේ නැතිද කියන එක මා දන්නේ නෑ.
කෙසේ හෝ එතුමාගේ එම ප්‍රකාශය අනුව මාව අත්අඩංගුවට ගෙන සිරගත කිරීම තුළින් මා හට අසාධාරණයක් සිදුවූ බව දැන්වත් තේරුම් අරන් තියෙනවා නම් මා වෙතින් ලබාගත් සියලු දේ යළි ලබාදීම එතුමාගේ වගකීමක්, යුතුකමක්.
ප්රශ්නය – ඔබට එරෙහි ගොනු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් කතා කළහොත්, යුධාධිකරණ චෝදනා, සුදු කොඩි චෝදනා, හමුදා සෙබළු තබාගැනීමේ චෝදනා…
පිළිතුර – මේ සියලු චෝදනාවන් මවාපාමින් ගොතනු ලැබූ ඒවා බවට එම චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාකළ අයගේ හැසිරීම් හා මෙහෙයවීම් වලින් පෙන්නුම් කළා. නීතිපති දෙපාර්තමේන්තුව මෙම චෝදනා ගොනු කළ අයුරින් හා පෙනී සිටි අයුරින් එය වඩාත් තහවුරු වුණා. කෙසේ වුවත් මේ කිසිදු චෝදනාවක් මා පිළිගන්නේ නැති මුළුමනින්ම බැහැර කළ ඒවා බව කිව යුතුයි.
රාජ්‍ය පාලනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයටද බලපෑම් කරන්නට හැකි අයුරින් වටාපිටාවක් සකස්කර ගනිමිනුයි සිටින්නේ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් අනාගතයේදී අධිකරණ පාලනයද දේශපාලකයන් අතට පත්කර ගන්නට හදනවා. ඒ තුළින් රජයට එරෙහි අධිකරණය තීන්දුවක් ගත් පසු අත්වන ඉරණම එම ව්‍යවස්ථා සංශෝධනය නැති කාලයේදී අත්විඳින්නට වූ දේවල් සමග බලන විට සිතා ගැනීමට පුළුවන්.
සමාජයේ යහපැවැත්මට මේවා කෙසේ බලපායිද කියා ජනතාව සාධාරණව සිතා බැලිය යුතුයි. මේවා පිළිබඳව අපක්ෂපාතී මාධ්‍යවේදීන් ද අවධියෙන් සිටිය යුතුයි. එහිදී ඔවුන් දේශපාලන වාසි නොතකා ජනතාව පිළිබඳව සිතා කටයුතු කළ යුතුයි. නැත්නම් ඔවුන්ද රට අගාධය කරා ගෙනයන්නවුන්ගේ හවුල්කරුවන් වෙනවා.
ප්රශ්නය – හමුදාව යුද සමයේa යුද අපරාධ කළ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa නාලිකාව මගින් සකස් කළ වීඩියෝ පට දෙකක් ප්‍රචාරය කළා. මෙම වීඩියෝ පට නිර්මාණය හා දර්ශන සම්බන්ධයෙන් ඔබේ මතය කෙබඳු එකක්ද?
පිළිතුර – මෙම වීඩියෝ පට ප්‍රචාරය වූ කාලයේ මා සිටියේ සිරගතවයි. ඒවා පිළිබඳව ටික ටික දැනගන්න ලැබුණා. පැහැදිලිවම මා මුල ඉඳලා සිටි ස්ථාවරයක් තමයි අපේ හමුදාව කිසිදු යුද අපරාධයක් නොකළ බවට, ඒ ස්ථාවරය ඉදිරියටත් එසේමයි. කෙසේ වුවත් ඔබ සඳහන් කළ වීඩියෝ පට පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න ඒවා අධ්‍යයනය කළ යුතු වෙනවා. මට දැන ගන්නට හැකි වූ අයුරින් මෙම වීඩියෝ පටවල ඇති ම්ලේච්ඡ ඝාතන හමුදාව සිදු කළේ නැති බව පැහැදිලිව කිව යුතුයි.
ප්රශ්නය – වන්නි මෙහෙයුමේදී ඇතැම් දෙස් විදෙස් මාධ්‍ය ඔබට විරුද්ධ ක්‍රියා මාර්ග අනුගමනය කළා. හමුදා සෙබලුන් විශාල ලෙස මිය යන බවට, යුද්ධය අවසන් කළ නොහැකි බවට ඔවුන් විවිධ ප්‍රචාර ගෙන ගියා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන මතයක්ද?
පිළිතුර- ඔව්. හැමෝම නොවෙයි. ඇතැම් මාධ්‍යවේදීන් එවැනි කතා ප්‍රචාරය කරනු ලැබුවා. ඒ පිළිබඳව කළ එක් කතා එකතුවක එවැනි මාධ්‍යවේදියෙක් කියා තිබුණා. යුද්ධයේදී මියගිය හමුදා සෙබලු සංඛ්‍යාව වැඩියි කියලා. එවැනි මාධ්‍යවේදීන් පරාජය කරන්න බැරි යෑයි කියූ තිස් වසරක් තිස්සේ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කළ යුද්ධය පැවැති කාලසීමා බලන විටදී 2000 වසරේදී තමයි හමුදාවේ වැඩිම ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණේ. එපමණ සංඛ්‍යාවක් හමුදාව යුද ජයග්‍රහණය ලැබූ අවස්ථාවේදී නැතිs වුණේ නෑ.
කෙසේ වුවත් මා හමුදාපතිවරයා ලෙස යුද්ධය ජයග්‍රහණය කර රටට අහිමි වන්න තිබූ ජීවිත ලක්ෂ ගානක් බේරා ගත් බව විශාල හානියක් වළක්වා ගත් බව ඒ අයට කිව යුතුයි.
අපට පුළුවන් උපරිමය අප කළා. මම කියන්නේ නෑ ඊට පෙර සිටි අය මීට කලින් හොඳට කළා නම් ඒත් ජනතාව සතුටු වේවි.
යුද්ධයේදී ත්රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මිය ගියා. අපේ හමුදා සෙබලු ද ජීවිත පරදුවට තබා යුද්ධ කළා. එය යුද්ධයක ස්වභාවය. අපේ හමුදා සෙබලුන්ගේ ජීවිත පරදුව නිසා රටේ සියලු ජනතාවට නිදහස් කාලයක් උදා වුණා.
ප්රශ්නය – නිදහස ලබා පැය 24 ක් තුළ ඔබ බී. බී. සී. යට කියා තිබුණා හමුදාව කිසිදු යුද අපරාධයක් සිදු නොකළ බවට. යුද්ධයේදී සිවිල් වැසියන් 40,000 ක් මියගියේ යෑයි නඟන චෝදනා සාවද්‍ය ප්‍රකාශ බව. විටින් විට එල්ල වන මෙම සාවද්‍ය යුද අපරාධ ගැන ඔබ දරන්නේ කුමන මතයක්ද?
පිළිතුර- ඉතා පැහැදිලිව ඉහතින් සඳහන් කළාක් මෙන් හමුදාව වෙත එල්ල කරන මෙම යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනා එල්ල කරන අයට පිළිතුරු දෙන්න හමුදාපතිවරයා ලෙස මා සූදානම්. විටින් විට නඟන මෙම සාවද්‍ය චෝදනා රණවිරුවන් කළ කැප කිරීම්වලට කැළලක් වෙනවා. මෙම එල්ල වන චෝදනා බැහැර කර රණවිරුවන්ගේ කීර්තිය රැක ගැනීමට අප සියලු දෙනා මැදිහත් විය යුතුයි. ලෝක ප්‍රජාව අප ගැන කියන හිතන ආකාරය පිළිබඳව ඔවුන් තුළ ඇති මුළාව බැහැර කරලීමේ වැඩපිළිවෙළක් සිදු කළ යුතුයි.
ප්රශ්නය – හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ බව ජාත්‍යන්තරය නිතර චෝදනා එල්ල කිරීමක් කරනවා. කොටි සංවිධානය කළ මානව හිමිකම් කඩ කිරීම් ගැන ඔවුන්ගේ අවධානයක් නෑ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න ඔබ ඉදිරිපත් වෙනවාද?
පිළිතුර – කොටි සංවිධානය කළ මානව හිමිකම් කඩ කිරීම් ගැන පෙන්වා දීම රජය විසින් කළ යුතු දෙයක්. එය හමුදා නිලධාරීන්ට කළ හැකි දෙයක් නොවේ. ඒ පිළිබඳ ඕන තරම් තොරතුරු ලබා දිය හැකියි. කොටි සංවිධානය තහනම් සංවිධානයක්. බොහෝ රටවල් එම සංවිධානය තහනම් කළා.
මෙතැනදී කළ යුත්තේ ම්ලේaච්ඡ කණ්ඩායමක් ගැන කීම නොවෙයි. අප වෙත එල්ල කරන චෝදනාවන්ගෙන් රණවිරුවන් බේරා ගැනීමයි. ඔවුන් නොකළ දෙය ගැන ලෝකයාට පෙන්වා තහවුරු කිරීමයි. මෙය රණවිරුවන්ට නොදී පාලකයන් දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කිරීමෙන් තමයි මේ හැම ප්‍රශ්නයක්ම මතුවෙලා තියෙන්නේ. රණවිරුවන් අසීරුතාවට පත්වෙලා තියෙන්නේ.
යුද්ධයේ රැඳී සිටි හමුදාපතිවරයා ඒ පිළිබඳව කතා නොකරන්න කාටද කතා කළ හැක්කේ?
ප්රශ්නය – ද්‍රවිඩ සන්ධානය ජාත්‍යන්තරයට හැමවිටම පවසා සිටින දෙයක් උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිතා බැලීමේදී මේ පිළිබඳව ඔබේ අදහස කෙබඳු එකක්ද?
පිළිතුර – හමුදා කඳවුරු බිහිවුණේa යුද්ධයක් පැවැති නිසා. යුද්ධය අවසන් වූ පසු තවදුරටත් අවශ්‍ය ද යන්න සිතා බැලිය යුතුයි. ඒවා තුළින් සාමාන්‍ය ජන ජීවිතයට පීඩාවක් සිදු නොවිය යුතුයි. ඒත් උතුරු ප්‍රදේශය කියන්නේ ත්රස්තවාදීන් 12000 කට අධික සංඛ්‍යාවක් සිටි පළාතක්. විවිධ කොටස් පුනරුත්ථාපනය කළත් තවත් අය සිටින්න පුළුවන්. ඒ අනුව සිතන විටදී එක් වරම හමුදා කඳවුරු ඉවත් කිරීමේ ඉල්ලීම සාධාරණීකරණයට ලක් කරන්න බෑ. ඒ පිළිබඳව දීර්ඝ ලෙස අධ්‍යයනය කර තීරණයක් ගත යුතුයි. දේශපාලනඥයන්ට මේ පිළිබඳව එතරම් වැටහීමක් ඇත්තේ නෑ. සාධාරණ හේතු සොයා බලා, ජනතාවගේ පැත්තෙන්ද සිතා බලා තීරණයක් ගත යුතුයි.
ප්රශ්නය – ඔබේ වැඩිමහල් දියණිය ඔබ නිදහස් කර ගැනීම උදෙසා එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙත පෙත්සමක් යොමු කරනු ලැබුවා. එහිදී ඇයට සෙනෙට් සභා මන්ත්‍රීවරයකුගේ පූර්ණ සහාය ලැබුණු බව දැනගන්නට තියෙනවා. එම ඇමරිකානු සෙනෙට් මන්ත්‍රීවරයා විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතාට එවා තිබූ ලිපිය ජනාධිපතිවරයා වෙතද යොමු වුණා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පිළිතුර – මා වෙනුවෙන් ජනතාව, විවිධ දේශපාලනඥයන් ආගමික නායකයන් කතා කළා. ඒ නිසාම ඒ අයට තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට වුණා. මගේ සහායට සිටි අයව සිරගත කළා. මට රජයෙන් සිදුවූ අසාධාරණයට රට තුළින් සාධාරණයක් ඉටු කර ගන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඒ නිසා ඒ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරන්න සිදු වුණා. මට පමණක් නෙවෙයි ඕනෑම අයෙකුට සිදු වූ අසාධාරණයකට ඒ තැනැත්තා ජීවත් වන රටෙන්, රාජ්‍යයෙන් සහනයක් නැත්නම් ඒ ගැන ජාත්‍යන්තරයටවත් ගොස් සහනයක් බලාපොරොත්තු විය හැකියි. රට පාලනය කරන අයගෙන් එල්ල වන හිරිහැර, බාධකයන්ට සාධාරණයක් පතා ලෝකයා වෙතවත් යා යුතුයි.
ඔබ සඳහන් කළාක් මෙන් මා නිදහස් කිරීමේ අවස්ථාව වන විට ඒ වෙනුවෙන් දේශීයව මෙන්ම විදේශීයව සිද්ධීන් මාලාවක් ගොඩනැඟී තිබුණා. එහිදී එක්සත් ජනපද රාජ්‍යයේ මැදිහත් බවද එම සිද්ධි මාලාවේ එක් කොටසක් වෙනවා.
රජය මාව නිදහස් කිරීම කළේ මට ඇති ආදරයකටවත්, හිතවත් කමකටවත් නොවේ. ඒ සඳහා රජය වෙත දේශීය මෙන්ම විදේශීයව එල්ල වන්නට වූ පීඩනය වැඩි වන්නට වීම නිසායි. රජයට ඒ වෙනකොට මාව නිදහස් කළ යුතු තත්ත්වයකට ඔවුන් පත්ව තිබුණා. එම තත්ත්වයට ඔබ සඳහන් කළ එක්සත් ජනපද මැදිහත් වීමද බලපානු ලැබුවා.
මගේ ළමයකුටවත් රටට එන්න බැරි වාතාවරණයක් තමයි ගොඩනැඟී තිබුණේ. විදේශගතවෙලා සිටින ඒ අය මෙරටට එනවිට ගුවන්තොටුපළේදී බලවත් හිරිහැරයන්ට මුහුණදෙන්න වුණා. ඒ නිසා අපට සිද්ධ වුණා මේ දිගින් දිගට කරන අසාධාරණ අකටයුතුකම්, පිළිබඳව ලෝකයා දැනුවත් කරලා සහනයක් ඉල්ලා සිටින්න. එය වැරැදියි කියා කාටවත් කියන්න බෑ.
ප්රශ්නය – 2010 පෙබරවාරි 08 දා රාත්රියේදී යුද හමුදා පොලිසිය මගින් නීතිවිරෝධී ලෙසින් අත්අඩංගුවට ගත් බවට ඔබ ශේ්‍රෂ්ඨාධිකරණය වෙත මානව හිමිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. නිදහස් වීමත් සමග එම පෙත්සමත් ඉල්ලා අස්කර ගත්තාද? එහි සඳහන් කර තිබූ මතය වෙනස් වුණාද?
පිළිතුර – මට සිදුවූ අසාධාරණය සාධාරණ යෑයි පිළිඅරන් නොවේ එම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීම සිදු කළේ. නිදහස් කරගැනීමේ ක්‍රියාවලියේදී ඇති වූ නීතිමය හේතූන් නිසා ඇතැම් පෙත්සම් තාවකාලිකව ඉවත් කර ගැනීමක් සිදු කළා. නිදහස් වීමට එම පෙත්සම් තවදුරටත් පැවතීමෙන් බලපෑමක් සිදු වනවාය යන මගේ නීතිඥ මහත්වරුන්ගේ අනුදැනුම හා අභිලාෂය මත ඒවා ඉවත් කර ගත්තා.
පෙත්සම් කීයක් ගොනු කළාද නඩු කීයක් තිබුණාද කියා මටවත් ඒ පිළිබඳ හරිහැටි මතකයක් තිබුණේ නෑ. ඒවා දැනන් හිටියේ මගේ නීතිඥ මහත්වරුයි, බන්ධනාගාර නිලධාරිනුයි විතරයි.
හැමදාම කීවාක් මෙන් අදත් කියන්නේ මාව අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නීතිවිරෝධීව සිදු වූවක් බවයි. පුරවැසි අයිතිවාසිකම් කඩ කළ වෛරී දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමක් ඒ තුළින් ක්‍රියාත්මක වූ බව කිව යුතුයි.
ප්රශ්නය – ඔබ මෙරට සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වී සිටින අයෙක්. රජයට එරෙහිව ගෙන යන ඔබේ දේශපාලන ව්‍යාපාරය කෙබඳු ලෙසින් ක්‍රියාවට නංවන්න සිතා සිටිනවාද?
පිළිතුර – රටේ සෑම අස්සක් මුල්ලක් නෑර විහිද විසිර ඇත්තේ දූෂිත දේශපාලන සංස්කෘතියක්. මෙය රට වෙලා ගත් පිළිකාවක් වගේ. දිනෙන් දින උඩුදුවා ලියලනවා ඇරෙන්න අඩුවීමක්, අඩු කිරීමක් දක්නට ඇත්තේම නෑ. ජනතාව මුලා කරන රට හූරා කන දේශපාලනයකයි මේ රජය යෙදී සිටින්නේ. මේ සඳහා වහ වහා පිළියම් යෙදිය යුතු තත්ත්වයක් මතුවෙලා තියෙනවා. එය ආණ්ඩු වෙනස් කිරීමකින් පමණක් සිදු කළ හැක්කක් නොවේ. අවංක පාලනයකින් පමණයි දූෂණය අයුක්තිය ඉවත ලා කාටත් බලපාන නීතියක් සමාජ වාතාවරණයක් ගොඩනැගිය හැක්කේ. ඒ අරමුණ පෙරදැරිකොට ගෙන ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්, අවංක සිතින් එක්වන්න පුළුවන් කාටත් අප හා අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
ප්රශ්නය – ඔබ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොට ගත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. අද වෙනකොට ඔවුන්ගෙන් ඈත්වීමක් සිදුවෙලාද?
පිළිතුර – අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ඇත්තේ පෞද්ගලික න්‍යාය පත්රයන්ට අනුව ක්‍රියාත්මක වීමක්. තමන් සමග සිටි අයෙක් එළියේ සිටින විටදී දක්වන ප්‍රතිචාරය පිළිගැනීම නොවෙයි සිරගත වූ විටකදී පෙන්වන්නේ. සෑම පුද්ගලයෙක්ම සිරගත වීමක් වුණාම ඒ පුද්ගලයා වටේ සිටි අය කවුරුත් නෑ. හැබැයි මට නම් එය එහෙම වුණේ නෑ. යම් ප්‍රමාණයක පිරිසක් හැමදාම නොසැලී සිටියා. ඒ සිටි අය, පිරිස ගැන සෑහීමකට පත්වෙනවාට වඩා යමක් බලාපොරොත්තු වන්න බෑ. බලාපොරොත්තු වුණෙත් නෑ.
ප්රශ්නය – ඔබව නිදහස් කර ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අය ඔබව රජය සමග සම්බන්ධ කිරීමට උත්සාහ කරනවාද? රජයට එක්වීමේ අදහසක සිටිනවාද?
පිළිතුර – රජය සමග එක්වීමේ කිසිදු අදහසක් නැති බව පැහැදිලිව කිව යුතුයි. කවදාවත් එවැන්නක් සිදුවන්නේ නෑ. මොකද මේ යන ගමන් මඟේ ඇත්තේ පෞද්ගලික න්යායපත්ර මුදුන් පමුණුවා ගැනීමක් නොවේ. මා නිදහස් කරන්න මූලික වූ අයත් මා සමග සිටින අයත් අවංක දේශපාලන අරමුණක් වෙනුවෙන් ඉදිරිපත්ව කැප වී සිටින පිරිසක්. රජයේ ක්‍රියා පිළිවෙතට එරෙහි වූ අපට කොහොමද ඔවුන් සමග එක්වී වැඩ කළ හැක්කේ. මුල ඉඳලාම ඒ අය සමග කටයුතු කිරීමට අකමැතිව ඊට එරෙහි වුණේ ඔවුන් සමග එක්වෙලා රට විනාශ කිරීමේ ක්රියාදාමයේ දායකයන් වීමට තිබූ අකැමැත්තයි.
සාකච්ඡා කළේ – සමන්ත ඉලේපෙරුම
Source: divaina(Sri Lanka)