අභිමානය ගෙනා සදහම් මඟ පෙරට ම ගෙන යා යුතුයි
ජාතිය අභිමානවත් කළ මිහිඳු හිමියන් දෙසූ සදහම් මඟ අඛණ්ඩවත් අවිච්ඡින්නවත් පෙරට ගෙන යෑම අප සතු වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
එම පණිවිඩය මෙසේය.
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වර්ෂයේ දී මිහිඳු හිමි ලක්දිවට වැඩි අසිරිමත් දවස උදා විය. මිහින්තල අම්බස්තලයේ දී දෙවන පෑතිස් නරනිඳුන්ට මිහිඳු මා හිමියන් හමුවීම ශ්‍රී ලංකාද්වීපයේ සිදුවූ ශ්‍රේෂ්ඨ සිදුවීමක් බව අවිවාදිත ය. ඒ වූ උතුම් පොසොන් දිනය අප මෙවර සමරන්නේ දෙදහස් තුන්සිය විසිවැනි පොසොන් මහෝත්සවය ලෙසය. මිහිඳු මහා රහතන්වහන්සේගේ ලංකාගමනය නිසා අවිහිංසාවාදී වූද ප්‍රඥා සම්පන්න වූද ශ්‍රේෂ්ඨ ධර්මයක් අපට දායාද විය.
මිහිඳු මහ රහතන්වහන්සේ දෙසූ ශ්‍රී සම්බුද්ධ ධර්මය අප රට තුළ පන්සිල් රකින සමාජයක පදනම වෙමින් සුචරිතවත් ජාතියක් හැටියට දිවි සරු කර ගැනීමට ඉවහල් විය. ඒ සුචරිතවත් දහම් මාවත රාජ්‍ය පාලනයට ද එක් කළේ වටිනා ආදර්ශයකි. සතර අගතියෙන් තොර වූ රාජ්‍ය පිළිවෙත ආර්ථික, සමාජ හා සංස්කෘතික ආදී වූ සියලු තැන්හි අන්‍ය ජාතීන් අතර අප සුවිශේෂී ජාතියක් බවට පත් කළේ ය. ජාතිය අභිමානවත් කළ ඒ සදහම් මඟ අඛණ්ඩවත්, අවිච්ඡින්නවත් පෙර ගෙන යෑම අප වෙත පැවරී ඇති වගකීමක් වේ.
සැමට සුවසේ ජීවත් විය හැකි දැහැමි සමාජයක් වෙනුවෙන් බොහෝ දෑ අප ක්‍රියාත්මක කර තිබේ.
දැහැමි පිළිවෙතින් සරු සමාජයකින් රටත්, ජනතාවත් ආරක්ෂා වන බව මම දැඩිව විශ්වාස කරමි.
අනුබුදු මිහිඳු හිමියන් දෙසූ මඟ යමින් අධිෂ්ඨානයෙන්, වීර්යයෙන් හා ඥානයෙන් පරිපූර්ණව මිහිඳු හිමියන්ට ගරු බුහුමන් පිදීම බෞද්ධ අපගේ යුතුකමය. මහින්දාගමනය සමරන සකල ලක්වාසී ජනතාවට මම තෙරුවන් සරණ පතමි.