අනාගත පරපුරට රට රැක දීමට ඕනෑම කැප කිරීමකට සූදානම් සුබ පැතූ ලන්ඩන් උද්ඝෝෂකයන් හමුවේ ජනපති කියයි

කුරිරු ත්‍රස්තවාදයෙන් මුදා ගත් මවුබිම යළි උදුරා ගැනීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අපේ රට අනාගත දරු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමට ඕනෑම කැපකිරීමක් කරන්නට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සිය ලන්ඩන් සංචාරයට සහාය හා සුභාශිංසන එක් කරමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ලන්ඩනයේ පාර්ක් ලේන්හි පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය හමුවට පැමිණි ජනාධිපතිතුමා මේ බව පැවසීය. දෙවෙනි එළිසෙබෙත් මහ රැජනගේ පදවි ප්‍රාප්තියේ වජ්‍ර ජයන්ති උලෙළට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය මහ රැජනගෙන් ලැබූ ඇරියුමකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිටී.

ජනාධිපතිතුමාගේ පසුගිය ලන්ඩන් සංචාරයේදී කළාක් මෙන් මෙවර ද සංචාරය අසාර්ථක එකක් බව ඒත්තු ගැන්වීමට ලන්ඩන් නුවර සිටින එල්.ටී.ටී.ඊ. කොටි සාමාජිකයෝ අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ.

ඔවුන් ජනාධිපතිතුමන් නැවතී සිටින හෝටලය ඉදිරිපිටට පැමිණ අසත්‍ය ප්‍රචාරයන් සහිත ප්‍රර්ශන පුවරු පෙන්වමින් උද්ඝෝෂණයක නිරත වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට ජනාධිපතිතුමාට සහාය හා ශක්තිය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළහ.

හෝටලයෙන් පිටතට නොපැමිණෙන ලෙස මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය ජනාධිපතිතුමාට ලබාදුන් උපදෙස් නොතකා හරිමින් ශ්‍රී ලාංකිකයින් ඉදිරිපිටට පැමිණි ජනාධිපතිතුමා, මේ දිනවල ලන්ඩන් නුවරට පවතින දැඩි සීතල ද නොතකා තම රට වෙනුවෙන් පෙළ ගැසී සිටින මව්බිමට ආදරය කරන මේ පිරිසට ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේම ස්තූතිය සහ ප්‍රශංසාව පුද කළේ ය.

මාතෘ භූමිය වෙනුවෙන් වූ මේ උද්ඝෝෂණය තමන්ට මහත් ශක්තියක් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මුහුදෙන් එතෙර සිට රට වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයින් සහ සියලු ජනවර්ගයා වෙනුවෙන් ගොඩනගමින් තිබෙන රට අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමට තමා ඕනෑම කැපකිරීමක් සිදු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ය.

මෙවැනි උද්ඝෝෂණ දෙකක් මැදට නොබියව ජනාධිපතිතුමන් පැමිණීම පිළිබඳ මවිතයට පත් ශ්‍රී ලාංකික උද්ඝෝෂකයෝමෙය තමන් රට වෙනුවෙන් ගෙන යන සැබෑ හඬට දැවැන්ත ශක්තියක් බව පැවසුහ.

මෙහිදී ඉතා අසරණ තත්ත්වයට පත් කොටි හිතවාදී උද්ඝෝෂකයන් පසුබෑමට ලක් වූ ආකාරයක් දක්නට ලැබුණි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා පෙරේදා(05) පස්වරුවේ ජනාධිපතිතුමන් බැහැදැකීමට පැමිණයේය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී මහ ලේකම්වරයා දැනුවත් කරන ලදී. පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල් වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාදාමයට පූර්ණ සහාය ලබාදෙන බව කමලේෂ් ෂර්මා මහතා මෙහිදී කියා සිටියේ ය. ජනාධිපතිතුමා සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමිවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ද පෙරේදා (05) පැවැත්විණි. පැය තුනකට අධික කාලයක් පැවති මේ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ පූර්ණ වැටහීමක් සාමිවරුන්ට ලබාදීමට ජනාධිපතිතුමාට හැකි විය.

මෙහිදී සිය අදහස් දැක්වූ සාමිවරු ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කර සාමය ස්ථාපිත කිරීම පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය සතුට පළ කළහ. එමෙන්ම රට තුළ දියත් කර ඇති රජයේ ශක්තිමක් සංවර්ධන වැඩපිළිවෙළ ද ඉතා ප්‍රශංසනීය බව සඳහන් කළ සාමිවරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සහාය ඊට ලබාදෙන බව එහිදී පැවසූහ.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් යන මහත්වරු ද මේ සාකච්ඡාව සඳහා එක් වූහ.

Source: Dinamina (Sri Lanka)