ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් ඉතිරෙයි – රට පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්‌ මාස 5 ට රෝගීන් 14,500 ක්‌! මරණ 80 ක්‌

ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලම ඊයේ (14 දා) පෙරවරුව වනවිට ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස්‌ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌a “දිවයින” ට කීය. මේ වනවිට ඩෙංගු අධි වසංගත තත්ත්වයකට රට පත්ව ඇතැයි කී හෙතෙම රජයේ රෝහල්වල ඊයේ වනවිට ඩෙංගු රෝගීන් සියයක්‌, දෙසීයක්‌ බැගින් ප්‍රමාණයක්‌ ප්‍රතිකාර ලබමින් සිටි බවද ප්‍රකාශ කළේය.

මෙම වසරේ ගතවූ මාස පහ තුළදී පමණක්‌ ඩෙංගු රෝගීන් 14500 ක්‌ වාර්තා වී ඇතැයිද ඉන් අසූ දෙනෙක්‌ මරණයට පත්ව ඇතැයිද හෙතෙම කීය. ජුනි මාසය වෙද්දී රට පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයකට වර්ධනය විය හැකි බැවින් මදුරු කීටයන් බෝවන ස්‌ථාන විනාශ කර දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, පාසල්, රාජ්‍ය ආයතන සහ මහජනතාවට කලක සිට අනතුරු හැඟවූ බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ පළාත් නවයම මේ වනවිට ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි කී හෙතෙම මදුරු කීට ඝනත්වය බස්‌නාහිර පළාතේ පමණක්‌ සියයට අසූව දක්‌වා වර්ධනය වී ඇතැයි ද කීවේය.

පාසල්, රාජ්‍ය ආයතන අවට පරිසරය පවිත්‍රව තබා ගන්නා ලෙසට විදුහල්පතිවරුන්ගෙන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීම සත පහකට මායිම් කර නැතැයි කී ඉහත නිලධාරියා ඩෙංගු මදුරුවාගේ ග්‍රහණයට වැඩිපුර හසුවන්නේ පාසල් දරුවන් බව සොයාගෙන ඇතැයිද කීය.

ඩෙංගු මදුරුවාගේ බිත්තර වර්ධනය වීම සඳහා දවසකට කිහිප වරක්‌ ලේ උරාබීම අවශ්‍ය බැවින් එම කටයුත්ත පහසුවෙන්ම ඉටුකර ගැනීමට ඩෙංගු මදුරුවාට අවස්‌ථාව ඇත්තේ පාසල් තුළදී බව ද හෙතෙම කීය. පාසල් දරුවන්ගේ අත්පා නිරාවරණයවී තිබීම සහ එකවිට ළමයින් කිහිප දෙනකුට දෂ්ට කිරීමේ හැකියාව නිසා ඩෙංගු මදුරුවාට එය පහසුවක්‌ව ඇතැයි ද ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

එහෙත් කිසිම පාසලක, විදුහල්පතිවරයකු ඩෙංගු මදුරු කීටයන් සිටින ස්‌ථාන විනාශ කිරීම සඳහා සාර්ථකව ක්‍රියාකර නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ වාර්තාවූයේ 2009 වසරේදී බවද එය 35700 ක්‌ ලෙස වාර්තා වී ඇතැයිද කී හෙතෙම එම වසරේදී ඩෙංගු රෝගයෙන් 364 දෙනකු මරණයට පත්වූ බව ද කීය.

එහෙත් මෙම වසරේ මුල් මාස පහ තුළ වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ප්‍රමාණය සමඟ සැසඳීමේදී ඉදිරි කාලය තුළ මෙම ප්‍රමාණය තවත් වැඩිවීමේ අවදානමක්‌ ඇත. පවතින වර්ෂාව සහිත කාලගුණය නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති අතර රෝගීන් සංඛ්‍යාව ඉහළ යද්දී මිය යන සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඉහත නිලධාරියා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට රජයේ ප්‍රධාන රෝහල් 190 ක දැඩි සත්කාර ඒකක පිහිටුවා ඇති අතර රෝහල් දහසක ඩෙංගු සඳහා ප්‍රතිකාර ඒකක පිහිටුවා ඇතැයිද ඒ සඳහා ඇඳන් 1250 ක්‌ ලබාදී ඇතැයිද ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

ඊට අමතරව විනාඩි පහළොවක්‌ තුළදී ඩෙංගු පිළිබඳ රුධිර පරීක්‍ෂණ වාර්තා ලබාදීමට ජාතික රෝහල විසින් සිදුකරන බව ද සෙසු රෝහල්වලද මෙම රුධිර පරීක්‍ෂණ වාර්තාව පැය භාගයක කාලයක්‌ තුළදී බාහිර රෝගී අංශයෙන් ලබා ගැනීමේ පහසුව සලසා ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීය.

දින දෙකකට වඩා පවතින උණ තත්ත්වය හෝ එකවරම උණ වැළඳී එකවරම එම තත්ත්වය පහව ගියොත්, මස්‌ පිඬු, හන්දි වේදනා, හිසරදය බඩේ අමාරුව වැනි රෝග ලක්‌ෂණ ඇත්නම් වහාම පළපුරුදු වෛද්‍යවරයකු වෙත යන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස්‌ ලබා දෙයි.

අජිත් අලහකෝන්
Source: Divaina (Sri Lanka)