ලංකා බැංකුවෙන් රුපියල් ට්‍රිලියනයක ශේෂ පත්‍රයක්

ඉතිහාසයේ පළමු වරට ලංකා බැංකුව රුපියල් ට්‍රිලියනයක ශේෂ පත්‍රයක් පෙන්නුම් කිරීමට සමත් වෙයි.

මෙවැනි ඉලක්කයක් කරා පැමිණි ශ්‍රී ලංකාවේ පළමු ආයතනය ලංකා බැංකුව වන අතර එම අගය පසුගිය මැයි මස 31 වනවිට වාර්තා කර ඇතැයි ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා පවසයි.

සැලසුම් සහගත ලෙස නිවැරැදි ඉලක්කයක් ඔස්සේ කටයුතු කිරීම, විධිමත් හා කාර්යක්ෂමතාව, කැපවීම, නිරවද්‍යතාව ආදිය හේතුවෙන් මේ ජයග්‍රහණය ලබා තිබෙන බවද ඒ සඳහා සමස්ත කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබී තිබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා බැංකු මූලස්ථානයේ ඊයේ (18) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වශයෙන් මෙන්ම සෙසු බැංකු සඳහාද ආදර්ශයක් වෙමින් ඉදිරියට ගමන් කරන බව පෙන්වාදුන් සභාපතිවරයා පසුගිය 2010 වර්ෂයේදී රුපියල් බිලියන 10 ක (රුපියල් කෝටි 1000) ලාභයක්ද පසුගිය 2011 වර්ෂයේදී රුපියල් බිලියන 15 ක (රුපියල් කෝටි 1500) ලාභයක්ද ලබා තිබෙන බව සිහිපත් කළේය. වසර දෙක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙවැනි දැවැන්ත ඉලක්කයක් කරා පැමිණීමට හැකිවී තිබෙන බව සිහිපත් කළ ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා එම ඉලක්කය මේ වසරේ දෙසැම්බර් 31 වනවිට සම්පූර්ණ කිරීම අරමුණ වී තිබුණද ඊට මාස 7 කට පෙර ළඟාවීමට හැකිවීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවද සඳහන් කළේය.

මීට පෙර සිටි කළමනාකාරිත්වය මෙන්ම කාර්ය මණ්ඩලයද තම බැංකුව දිගු ගමනක් කරා රැගෙන යාම වෙනුවෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර තිබෙන බව සිහිපත් කළ ලංකා බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව අපේ රට ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට තම බැංකුව විශාල ශක්තියක් වී තිබෙන බවද ඉදිරියටත් සහයෝගය ලබාදීමට සූදානම් බවද පැවසීය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ ලාභ ලැබීම පමණක් නොව ජනතාවගේ සංවර්ධනය මෙන්ම රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් දායකත්වය ලබාදෙන ලංකා බැංකුව උතුරු නැඟෙනහිර සංවර්ධනය ‍සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම, ධීවර, නිවාස, වාරිමාර්ග, මහා මාර්ග, ව්‍යාපාර ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම වෙනුවෙන් සහාය ලබා දී තිබෙන බවත්ය. උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන් වෙත සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 80 ක මුදලක් ආයෝජනය කර තිබෙන බව සඳහන් කළ ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා ඒ හරහා එම ප්‍රදේශ විශාල දියුණුවක් ලබා තිබෙන බවද කියා සිටියේය.

ඊට අමතරව රට සංවර්ධන වේගවත් කිරීම සඳහා ඉතිරි කිරීම් ඉහළ දැමිය යුතු බව පෙන්වාදුන් ඒ මහතා මේ වනවිට එම අගය සියයට 16 – 17 අතර අගයක් ගන්නා බවද එය සියයට 35 – 40 දක්වා ඉහළ නැංවිය යුතු බවද කීවේය. මෙහිදී ලංකා බැංකුවේ සභාපතිවරයා සඳහන් කළේ අපේ රටට විදේශ විනිමය අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන ඒම සඳහා ලංකා බැංකුව සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවත්ය.

මහින්ද අලුත්ගෙදර
Source: Dinamina (Sri Lanka)