අනතුරට පත් වූ යාත්‍රාවේ ශ්‍රී ලාංකික කිසිවෙක් නැහැ

ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත ආසන්නයේදී අනතුරට පත්වූ යාත්‍රාවේ සිට දිවි බේරාගත් සරණාගතයන් අතර ශ්‍රී ලාංකිකයන් කිසිවකු නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙලෙස දිවි බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිසිවකු නොමැති බවට ඕස්ට්‍රේලියානු සාගරික ආරක්ෂක අධිකාරිය මඟින් සඳහන් කළ බවට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා ප්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු අමාතයාංශයේ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා දිනමිණ ට පැවසීය.

මේ අතර බේරාගනු ලැබූ 110 දෙනාගෙන් සිව්දෙනකුද පසුව ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති නන්ද මල්ලවආරච්චි මහතා සඳහන් කර ඇත.

කෙසේ වුවද ඕස්ට්‍රේලියාව බලාගිය මෙම යාත්‍රාවේ සිටි තවත් 90 දෙනකු පමණ අතුරුදන් වී තිබෙන අතර ඔවුන් සෙවීම සඳහා ඕස්ට්‍රේලියානු හා ඉන්දුනීසියානු නාවික හමුදා, ගුවන් හමුදා කණ්ඩායම් ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

අනතුරට පත් යාත්‍රාවේ ගමන් කළ සියලු දෙනාම පිරිමින් වන අතර වයස අවුරුදු 13 ක කුඩා දරුවකුද ඒ අතර වන බව වාර්තා වෙයි. මෙම යාත්‍රාවේ සිටි බොහෝ පිරිසක් ඇෆගනිස්තාන ජාතිකයන් බවට හඳුනාගෙන ඇති අතර බේරාගත් පිරිස අතරින් තිදෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බවද සෙසු සාමාජිකයන් විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගත් බවද වාර්තා වෙයි.

ඉන්දීය මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 120 ක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිස්මස් දූපතට කිලෝමීටර් 2600 කට ඈතින්වූ ඉන්දුනීසියානු මුහුදු සීමාවේදී මේ යාත්‍රාව අනතුරට පත්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් විශාල පිරිසක් පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරා තිබෙන බවත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ක්‍රිස්මස් දූපතේ රඳවා තිබෙන බවත්ය.රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැය කොට ඕස්ට්‍රේලියාවට ගියද කිසිඳු ඵලක් නොවන බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය ඊට අමතරව සිදුවූ අනතුරු හේතුවෙන් ඇතැමුන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථා වාර්තා වන බවද කියාසිටී. (මහින්ද අලුත්ගෙදර)

Source: Dinamina (Sri Lanka)