රජය විදේශාධාර ලබා ගන්නේ කන්නට, බොන්නට නොව, රටේත්, ජාතියේත් අනාගතය ගොඩනඟන්නට” යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට වැඩිම පිරිසකට එකවර තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිධාරීන් ලෙස සහ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස පත්වීම් හාරදහසක් ලබාදීමේ ජාතික මහෝත්සවය ඊයේ (29) දහවල් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ කීය.
වසර 2005 සිට මේ දක්වා ගුරුවරුන් වශයෙන් පමණක් පනස්පන් දහසකට අධික පිරිසක් බඳවා ගනිමින් මේ රජය ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබෙන වාර්තාවක් පිහිටුවා ඇතැයිද මේ උත්සව සභාවේදී අනාවරණය විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේද කීය.
“අපි ණයක් ගන්න ගිය විට විවිධ අය විවිධ දේ කියනවා. අපි ණය ගන්නේ කන්නට, බොන්නට නොවෙයි, රටේ සම්පත් ගොඩනගන්නයි. අද ජාත්‍යන්තර මට්ටමේ වරායන්, ගුවන්තොටුපලවල්, අධිවේගී මාර්ග හැදෙනවා. ඒවා අපි කරන්නේ අනාගත ආයෝජන ලෙස සලකායි. මේ සම්පත්වල වටිනාකම අදටත් වඩා හෙට වැඩි වෙනවා.
රටේ සම්පත් ගොඩනැගීම අපේ වගකීමයි. අපි මේ ඉටුකරන්නේ ඒ වගකීමයි. රට සෞභාග්‍යමත් දේශයක් කිරීමට අපි ක්‍රියා කරනවා. මේ රටේ අනාගතය ඉතාමත් ම යහපත් සුබවාදී එකක් බවට පත් කිරීමේ වගකීමයි ඔබට මේ ගුරු මෑණිවරු, පියවරු ලෙස පත්වීම් පිරිනමමින් භාර කරන්නේ. ඔබ ඒ වගකීම යුතුකම රට ගැන රටේ අනාගත පරපුර ගැන සිතා ඉටුකරන්න.
අපේ රටේ රාජ්‍ය සේවය ලක්ෂ 13ක්. මේ තරම් විශාල පිරිසක් රාජ්‍ය සේවයට අපි එක් කළේ රාජ්‍ය සේවය ගැන විශ්වාසය තබලයි. අපි රාජ්‍ය සේවය හකුලන්නට ක්‍රියා කරන්නේ නැහැ. එයයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.
අපේ රටෙන් බිහි වූ උගතුන්, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ විද්‍යාවේදීන් පිරිසක් තමයි එංගලන්තයේ කොටස් වෙළෙඳපොළ සියලුම තාක්ෂණික කටයුතු සිදු කරන්නේ. එය අපට ආඩම්බරයක්. මේ බව එංගලන්තයේ අගමැතිවරයා මේ නොබෝදා හමුවූ අවස්ථාවේ මට කිව්වා.
අපේ රටේ 2005 දී තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය තිබුණේ සියයට 5 මට්ටමේ. එය මේ වන විට සියයට 35 දක්වා ඉහළ දමා ගැනීමට අපි සමත් වුණා. අපේ ඉලක්කය වසර 2016 දී සියයට 75 ක් බවට පත් කිරීමයි” ජනාධිපතිතුමා කියා සිටියහ.
මේ අවස්ථාව අමතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්ර, මහාචාර්ය තීක්ෂණ සුරවීර, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරු කථා කළහ.
සර්ව ආගමික නායකයෝ ප්‍රධානව මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර්, පළාත් ආණ්ඩුකාරවරු ප්‍රධාන ඇමැතිවරු අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රධානීහු සහ පත්වීම්ලාභීු අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
ජයසිරි මුණසිංහ
Source: Dinamina (Sri Lanka)