වවුනියාවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් සතුව ජංගම දුරකතන සහ මුදල් විශාල ප්‍රමාණයක් තිබුණේ කෙසේ ද යන්න පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අරඹන ලෙස පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධීර මහතා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ මුදල් නෝට්ටු හා ජංගම දුරකතන තබාගෙන ඇත්තේ කිසියම් සංවිධානාත්මක ජාවාරමකට ද යන්න පිළිබඳ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ.
බන්ධනාගාරය තුළ ඇතිව තිබූ අර්බූදකාරී තත්ත්වය නිමා කිරීමෙන් පසු පෙරේදා (30) පෙරවරුවේ වවුනියාව මූලස්ථාන පොලිසිය මගින් බන්ධනාගාර සිර මැදිරි ඇතුළු භූමිය පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. මේ පරීක්ෂණවලට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධාරීහු ද සහභාගි වූහ.
පැය 04 ක් පුරා සිදු කළ සෝදිසි කිරීමේ දී බන්ධනාගාර රැඳවියන් සිරමැදිරි තුළ, ඒ ආශි‍්‍රතව තැනින් තැන සඟවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 55 ක්, හෙරොයින් බහාලු සුර 03 ක්, (ආරක්ෂාව හෝ අපල උපද්‍රව සඳහා පලඳීන), ගංජා පැකට් 06, දුරකථන චාජර්, මුදල් රුපියල් 23,000/= ක්, සතියකට පමණ ප්‍රමාණවත් වියලි ආහාර ද්‍රව්‍ය සහ යකඩ පොළු මුගුරු විශාල ප්‍රමාණයක් මෙහි දී සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත්වූ ජංගම දුරකථන පිළිබඳ පොලිසියේ විශේෂ අවධානය යොමුවී ඇති අතර රැඳවියන් මේ දුරකථන භාවිතා කර සම්බන්ධතා පැවැත්වූ කතා බහ කළ බාහිර පුද්ගලයන් පිළිබඳ අවධානය යොමු කරන බව ද මූලස්ථාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා පවසයි.
ඊට අමතරව සිර මැදිරියක නොතිබිය යුතු මේ සියලු භාණ්ඩ සිරකරුවන් වෙතට පත්වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ වලදී විශේෂ අවධානය යොමු කරන බව පවසන වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට මෙන්ම අනිසි ක්‍රියා මාර්ග වලට පෙළඹවීමට සිර මැදිරි තුළට නීති විරෝධී දේ ඇතුළුවීම හේතුවී ඇතැයි ද පවසයි.
වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සෝදිසි කිරීම් කටයුතු පෙරේදා (30) පෙ. ව. 9.30 සිට ප. ව. 1.30 පමණ දක්වා සිදු විය.
බුද්ධිකා ඉඹුලාන සහ සුභාෂිනි සේනානායක වවුනියාව උතුර බන්දුල සෙනෙවිරත්න
Source: Dinamina (Sri Lanka)