එ.ජා. සාම සාධක වැඩවලින් ශ්‍රී ලංකාව‍ට රු. කෝටි 1800ක්

එ.ජා. සංවිධානයේ සාම සාධක කටයුතුවල නිරතවීමෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම අමෙරිකා ඩොලර් මිලියන 142ක් (රුපියල් කෝටි 1800ක්) බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

මේ මුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 96 ක මුදලක් (රුපියල් කෝටි 1200ක්) නිලධාරීන්ගේ හා භට පිරිස්වල දීමනා වන අතර ඉතිරි මුදල වන ඇමෙරිකා ඩොලර් මිලියන 46 ක ප්‍රමාණය (රුපියල් කෝටි 600) යුද උපකරණ, වාහන සහ අවි ආයුධ ආදිය සැපයීම වෙනුවෙන් සිදුකළ ගෙවීම් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා දිනමිණට පැවසීය.

ශ්‍රී ලංකාව සාම සාධක කටයුතුවල නිරතවීම පසුගිය 2004 වසරේ සිට අඛණ්ඩව සිදුකෙරුණු අතර එම වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ මේ මුදල හිමිකරගෙන තිබෙන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යය සඳහා 1960 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් භට පිරිසක් කොංගෝ රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙන අතර එයින් පසුව පසුගිය 2004 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නිලධාරීන් සහ භට පිරිස් සාම සාධක කාර්යය සඳහා ලෝකයේ විවිධ රටවලට පිටත්ව ගොස් තිබෙන බව ද බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සිහිපත් කළේය.

මේ දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යයේ නිරත වී තිබෙන ශ්‍රී ලංකා භට පිරිස් ප්‍රමාණය 13,000 කට අධික බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය යන සියලු අංශයන්ගෙන් ඊට අයත්වන බවද ප්‍රකාශ කළේය.

ඊට අමතරව හෙතෙම සඳහන් කළේ මේ වනවිට හයිටි රාජ්‍යයේ 750 ක්, ලෙබනනයේ 150 ක් ආදී වශයෙන් සාම සාධක කාර්යයේ නිරතවන බවත් ඊට අමතරව සාම සාධක භටයන් සහ නිරීක්ෂකයන් ලෙස කොංගෝ රාජ්‍යය, සූඩානය, බටහිර සහරා වැනි රටවල මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධනයේ මූලස්ථානය පිහිටි නිව්යෝර්ක්හි ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් සේවය කරන බවයි. සෑම මාස 6 කට වරක්ම මෙම භට පිරිස් මාරු කෙරෙන බව සඳහන් කළ බ්‍රිගේඩියර්වරයා ශ්‍රී ලංකාවෙන් තවත් භටයින් 75 දෙනකු ලෙබනනය බලා ඊයේ (09) පිටත්ව ගිය බවද කීවේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරතවීම හේතුවෙන් ඔවුනට මූල්‍ය ප්‍රතිලාභයක් මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශාල ශක්තියක් සැපයෙන බවද ඊට අමතරව ඔවුන්ට විදේශීය රටවල හමුදාවන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් අන්තර්ජාතික වශයෙන් පුහුණුවක් ලැබෙන බවද කී බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සඳහා විදේශී රටවලින් විශාල ඉල්ලුමක් පවතින බවද ප්‍රකාශ කළේය.

Source: Dinamina (Sri Lanka)