රටේ දැන් ලොක්‌කන්ට වැඩිය බක්‌කො වැඩියි! – ආචාර්ය ලීල් ගුණසේකර

අපේ රටේ රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව ගැන නොයෙක්‌ දෙනා කතාකරනව. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම එයට එක හේතුවක්‌?

රාජ්‍ය සේවකයා දේශපාලන පක්‍ෂයකට අයිති පුද්ගලයෙක්‌ වෙන්න බෑ. නමුත් ඔහු රාජපක්‍ෂිකයෙක්‌ වෙන්නට ඕනෑ. අද අපේ රටේ සමහර දේශපාලකයො නොයෙක්‌ නඩු හබවලටත් පැටලිලා මිනිස්‌සුන්ට තිත්ත වෙන තත්ත්වයටත් පත්වෙලා. රාජපාක්‍ෂිකත්වය කියන්නේ එබඳු දේශපාලකයන්ට අවනත වීම නොවෙයි. නමුත් පවතින රජයේ වැඩපිළිවෙළට රාජ්‍ය සේවකයා එකඟත්වය පළ කළ යුතුයි. මේ ආණ්‌ඩුවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මහින්ද චින්තනය නම් එයට එරෙහිව කටයුතු කරන්න එය විවේචනය කරන්න රාජ්‍ය සේවකයාට පුළුවන්කමක්‌ නෑ. රාජ්‍ය සේවකයා අවශ්‍ය තැනදී නම්‍යශීලී විය යුතුයි.

ආණ්‌ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් උසස්‌ නිලධාරීන්ට එල්ලවෙන විවිධ බලපෑම් ගැන අද අහන්නට ලැබෙනව. ඒවාට එකඟත්වය පළ නොකරන නිලධාරින්ගෙ තනතුරුත් අහිමි වූ අවස්‌ථා තිබෙනව. රටට ජනතාවට අහිතකර යෝජනාවක්‌ දේශපාලකයකු ගෙනාවොත් නිලධාරියා කළ යුත්තේ එයට එකඟ වීමද නැතහොත් විරුද්ධ වී තනතුරු හැරයැමද?

මගේ රාජකාරි කාලය තුළත් මෙබඳු සිදුවීම් ගැන අත්දැකීම් තිබෙනව. අපි හිතමු මගේ දෙපාර්තමේන්තුවට සුදුසුකම් නැති පුද්ගලයෙක්‌ බඳවා ගන්නා ලෙස ඇමැතිවරයෙක්‌ යෝජනා කළා කියල. එවැනි අවස්‌ථාවක කළ හැක්‌කේ මේ ව්‍යවස්‌ථාවට අනුව ඒක කරන්න බෑ කියල එක පාරටම විරුද්ධ වීම වත් හරි ගනිමු කියල එකඟවීමවත් නොවෙයි සාකච්ඡාමය ක්‍රියාදාමයකින් එබඳු අවස්‌ථාවක්‌ ගැටුමකට නොයා සමථයකට පත්කර ගැනීමයි. රාජ්‍ය නිලධාරියා තුළ කිසියම් නම්‍යශීලී ස්‌වභාවයකුත් තිබිය යුතු යෑයි මම කිව්වේ ඒකයි. පවතින කවර අවස්‌ථාවක වුවත් පාලකයන් සමග ගැටී රාජ්‍ය සේවය කරන්න බෑ.

රටක්‌ දියුණු වෙන්නට නම් දේශපාලකයා හා රාජ්‍ය සේවකයා එකම අරමුණක පිහිටා කටයුතු කරන්න ඕන. දේශපාලකයන් අනුගමනය කරන ක්‍රමෝපායන්වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීමේ හැකියාවක්‌ නිලධාරියා සතුව තිබෙන්නට ඕන. මෙයට දශක කිහිපයකට පෙර මගේ රාජකාරි කාලය තුළ දේශපාලනඥයන් හා නිලධාරි අතර අෙන්‍යාන්‍ය විශ්වාසයක්‌ හා ගරුත්වයක්‌ තිබුණා. එබඳු විශ්වාසයක්‌ – ගරුත්වයක්‌ දේශපාලනඥයා තුළ ඇතිකරවීමේ හැකියාවකුත් නිලධාරියා තුළ තිබෙන්නට ඕන. දේශපාලකයකු තුළ නිලධාරියකු පිළිබඳ ගරුත්වයක්‌ විශ්වාසයක්‌ ගොඩනැගෙන්නෙ කේලාම් කීමෙන් හෝ ගැත්තකු වීමෙන් නොමෙයි. නිලධාරියා දක්‍ෂ අවංක පුද්ගලයකු වීමෙන්. අපේ කාලෙ නිලධාරින් වැඩිදෙනෙක්‌ හොඳ ලේඛකයො, කථිකයො. තමන්ගේ වෘත්තියට අමතරව විවිධ හැකියාවන් තිබූ අය. මේ නිසා මහජනතාව තුළත් ඔවුන් කෙරේ ගෞරවයක්‌ විශ්වාසයක්‌ තිබුණා. නිලධාරියෙක්‌ සමාජයෙන් සැලකිලි ලබන්නෙ ඔහුගේ දක්‍ෂතාවන්ට සහ හැකියාවන්ටයි.

අද රජයේ ආයතනයකට පත්වෙන උසස්‌ නිලධාරියා ආණ්‌ඩුවේ හිතවතෙක්‌. ආණ්‌ඩුවේ කවර තීරණයකට වුවත් එරෙහිවීම ඔහුට පහසු නැහැ. 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත වන තුරුම අමාත්‍යාංශයක ඉහළම තනතුර වුණේ ස්‌ථිර ලේකම්. මේ තනතුරුවලට එදා පුද්ගලයන් පත්වුණේ කොහොමද?

එදා හිටියෙ ආණ්‌ඩුකාරවරයායි පළාත් නවයට දිසාපතිවරු නවදෙනයි, දිස්‌ත්‍රික්‌ 22 කට උප දිසාපතිවරු 22 යි. අද උප දිසාපතිවරුන් හැමතැනම ඉන්නව. එදා තත්ත්වය අද එහෙම්පිටින්ම වෙනස්‌වෙලා. දැන් රට පුරාම ලොක්‌කො. ලොක්‌කො වැඩිවෙන්න වැඩිවෙන්න බක්‌කොත් වැඩිවෙනව. මේ හින්ද රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව අඩුවෙලා. රටේ වැඩ හුඟක්‌ අඩපණ කරන්නෙ ලොක්‌කන්ට මුවාවෙලා ඉන්න බක්‌කො.

ඉස්‌සර රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබුණ. ඒක තුළිනුත් ආණ්‌ඩුවට තමුන්ට ඕන කෙනෙක්‌ පත්කරගන්න පුළුවන්. හැබැයි සුදුසුකම් තියෙන්න ඕන. ආණ්‌ඩුවේ හිතවත් පුද්ගලයෙක්‌ වුවත් තනතුරට නුසුදුසු පුද්ගලයෙක්‌ එදා ඒ තැන්වලට පත්වුණේ නෑ. නුසුදුසු පුද්ගලයන්ට ඇතැම් තනතුරු ලැබීමත් අද රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව අඩුවීමට හේතුවක්‌.

අනිත් කාරණය අද හුඟක්‌ නිලධාරීන් ගැන මහජන විශ්වාසයක්‌ නෑ. අද මහජනතාවට තමන්ගෙ ප්‍රශ්නයක්‌ ගැන කතාකරන්න හුඟක්‌ නිලධාරින් හමුවෙන්න පහසු නෑ. එක්‌කො රැස්‌වීමකට ගිහිං නැත්නම් නිවාඩු. එහෙමත් නැත්නම් දැන් හම්බවෙන්ඩ බෑ, වගේ උත්තර තමයි බොහෝවිට මහජනතාවට ලැබෙන්නෙ. එක්‌කෝ වෙන වෙන නිලධාරි ගාවට යවනව. මම අත්දැකීමෙන් දන්න දෙයක්‌ තමයි කෙනෙක්‌ හමුවීමට බලාපොරොත්තු වන නිලධාරියා හමුවීමම ඔහුට විශාල සහනයක්‌. නමුත් අද අපේ රටේ බොහෝ දෙනෙකුට ඒ සහනයවත් නෑ.

දැන් ඉන්න අගමැතිතුමා ඇමැති කාලෙ සිදුවූ දෙයක්‌ මම කියන්නම්. ගම්පොල පැත්තෙ ගොවි මහත්වරු දෙන්නෙක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශයට ආව. ඇමැතිතුමා නෑ. ආරක්‍ෂක නිලධාරින්ගෙන් ඇහුව. ඒ අයට ගොවි ජනතාව ගැන හැඟීමක්‌ නෑ. ඇමැතිතුමා නං නෑ ඕනනම් අලේ හරි හිලේ හරි හම්බවෙන්ඩ පුළුවන් කියලා ඒ අය මේ දෙන්නට කිව්ව. මේ ගොවියො දෙන්න අන්දුන්කුන්දුන් වුණා. අපි ගම්පොල පැත්තෙ ගොවියො. අපි දන්නෙ මයියොක්‌කා, හිඟුරල, බතල විතරයි වෙන අලයක්‌ අපි දන්නෙ නෑ. අපි ආවේ ඇමැතිතුමා හම්බවෙන්ඩ කියල ඒ අය ආරක්‍ෂක නිලධාරින්ට කිව්ව. අලේ කියන්නේ අලුත් ලේකම්. හිලේ කියන්නේ හිටපු ලේකම්. ඇමැතිතුමා නැති හින්ද ඕනනම් ඒ කවුරුහරි හම්බවෙලා යන්ඩ කියල ආරක්‍ෂක නිලධාරින් නම් දෙක පහදල දුන්න. නිලධාරි හම්බවෙන්න එන ගම්වල අහිංසක මිනිස්‌සු ගැන සමහරුන්ගෙ ආකල්ප මෙහෙමයි. නිලධාරින් ජනතාවගෙ හද ගැස්‌ම අඳුන ගන්න ඕන. රාජ්‍ය සේවය එදා පැය අටක රාජකාරියක්‌ නොවෙයි. අපි සිවිල් සේවයට සම්බන්ධ වුණු කාලෙ ජනතාවට ඒ කාර්යාල විවෘත කළා. එදා චිට්‌ දාල රස්‌තියාදුවෙලා නිලධාරි හම්බවෙන්න ඕන වුණේ නෑ. කිසියම් කාර්යයක්‌ කර ගැනීමට තමා හමුවෙන්නට ආ කෙනෙක්‌ නැවත මග තොටදී මුණගැහුණොත් ආ කොහොමද අර වැඩේ හරිද කියල අහන සිරිතක්‌ එදා නිලධාරීන්ට තිබුණා. එදා අපි ජනතා සේවය කාර්යාලයට සීමා කළේ නෑ.

අමාත්‍යාංශයක ලේකම්වරයා බලසම්පන්න කෙනෙත්. එබඳු ලේකම්වරු ගැන අතීතයේ අපි අහල තියෙනව. ලේකම්වරයා සහ ඇමැතිවරයා අතර පැවතිය යුතු සම්බන්ධය ඔබ දකින්නෙ කොහොමද?

මේ දෙදෙනා අතර සමීප සබඳතාවක්‌ වගේම අෙන්‍යාන්‍ය අවබෝධයකුත් තිබෙන්නට ඕන. ඇමැතිවරයාට දේශපාලන බලය තිබුණත් ව්‍යවස්‌ථාව යටතේ බලය තිබෙන්නෙ ලේකම්ට. ආයතනයේ මූල්‍ය සම්පත්වලට වගකියන්න ඕන ලේකම්. කෙසේ වෙතත් මේ දෙපළම සුහදතාවයකින් කටයුතු කරන්න ඕන. අද ලේකම්වරු දේශපාලනීකරණය වෙලා කියල චෝදනා නැගුනට ඔය දේශපාලනීකරණය ව්‍යවස්‌ථාවෙම තියෙනව. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ලේකම්වරයාගේ වගකීමක්‌. රජයේ නිලධාරියෙකුට දේශපාලනඥයන්ගෙන් දුරස්‌වෙලා කටයුතු කිරීම අපහසුයි. දේශපාලනඥයන් සමග ඇතිකරගන්නා සම්බන්ධතාව තුළම අවංකත්වය හා නිවැරැදි භාවයක්‌ තියෙන්නට ඕන. දේශපාලනඥයන් සහ නිලධාරින් අතර තිබෙන සම්බන්ධතාව නිවැරැදි මගට මෙන්ම වැරදි මගට යොමුකරන්නත් මාධ්‍යවලට පුළුවන්.

1975 මැතිවරණයේදී කෑගල්ලෙ තේරීම් භාර නිලධාරියා ලෙස මම කටයුතු කරද්දී ඡන්දය ගණන් කරන අවස්‌ථාවේ ඩඩ්ලි සේනානායක මහත්මය ඇවිත් ඒ ස්‌ථානයේ රැඳී ඉන්න මගෙන් අවසර ඉල්ලුව. මට පුටුවක්‌ එපා අර කෙළවරක තියෙන මේසෙ උඩ ඉන්න පුළුවන් කියල ඩඩ්ලි සේනානායක මහත්තය බොහොම නිහතමානීව කිව්ව. අසුනක්‌ පනවල අවශ්‍ය පහසුකම් ලබාදෙන්න මම සූදානම් වුණත් ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්‍ෂේප කළ ඒ මහතා සුපුරුදු ලෙස දුම් පයිප්පයත් උරමින් ශාලාවේ කෙළවර වූ මේසයක්‌ මත හිඳගෙන හිටිය. නමුත් කෑගල්ලෙ තේරීම් භාර නිලධාරියා අගමැති ඩඩ්ලිට ඉඳගන්න පුටුවක්‌වත් දුන්නෙ නෑ කියල පහුවෙනිද පත්තරවල මුල් පිටුවෙ පළවුණා.

දේශපාලකයන් හා නිලධාරින් අතර පවතින සුහදතාව මාධ්‍ය නිවැරැදිව අවබෝධ කර නොගැනීමත් ගැටලු සහගත තත්ත්වයක්‌ ඇතිවීමට හේතුවක්‌. හොඳින් කටයුතු කිරීමට දේශපාලන බලකිරීමකුත් අවශ්‍යයි. සාමය ඇති කිරීම සඳහා පසුගිය කාලයේ දියත් කළ මානුෂික මෙහෙයුම එයට එක උදාහරණයක්‌. ප්‍රතිපත්ති සාධක වල දිරිගැන්වීමට පාලකයන්ගේ බලකිරීම ඕනෑ.

ඔබ ලැබූ මේ අත්දැකීම වගේ දේශපාලනඥයන්ගෙන් ගරු බුහුමන් ලබන ලේකම්වරු අද ඉන්නවද?

කලාතුරකින් ඉන්නව. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම්වරයා මා දන්න තරමින් එබඳු කෙනෙක්‌. මම හිතන්නෙ ඔහුගෙ දක්‍ෂතාව අවංකභාවය මත උසස්‌වීමකුත් ලැබිල තියෙනව තරුණ කටයුතු පිළිබඳ ලේකම් හැටියට. තමුන්ගෙ හැකියාවන් – කුසලතාවන් මත ඉදිරියට ඒමේ අවස්‌ථාවක්‌ අද මේ නිලධාරින්ට තියෙනව. අපේ කාලේ මෙතරම් පහසුකම් තිබුණේ නෑ. එදා දිසාපතිවරයෙක්‌ විදිහට කටයුතු කරන කාලෙත් නිල නිවසට අවශ්‍ය බඩු භාණ්‌ඩ පවා අපටම අරගෙන යන්න සිදු වුණා.

රාජ්‍ය සේවයේ තවදුරටත් විධිමත් කිරීම සඳහා අපේ රටේ නිලධාරින් තුළ කෙබඳු වෙනසක්‌ සිදුවිය යුතුද?

මේ කටයුත්ත වැටෙන්නෙ ප්‍රජා සංවර්ධනයට. ප්‍රජා සංවර්ධනය ඇති කරන්න පුළුවන් අවංකව හා නිවැරැදිව කටයුතු කිරීමෙනුයි. සතර සංග්‍රහ වස්‌තු සමගින් බුදුරජාණන් වහන්සේත් ප්‍රජා සංවර්ධනය කළා. දානය, ප්‍රියවචනය, සමානාත්මතාව සහ අර්ථ චරියා යුතුව කටයුතු කිරීමෙන් අපේ රටේ අද ඇතිවෙලා තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම් ලබාගන්නත් පුළුවන්. දානය කියන්නෙ භික්‍ෂුන්වහන්සේට ආහාර පාන පූජා කිරීම පමණක්‌ නොවෙයි. තමුන් සතු හැකියාවන් ශ්‍රමය මුදල් හදල් අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදවීමත් දානයක්‌. ඉස්‌සර තමන්ගෙ හැකියාව ශ්‍රමය අනුන් වෙනුවෙන් යෙදෙව්වෙ පින් රැස්‌කරගන්න. අද යොදන්නෙ මුදල් රැස්‌කර ගන්න. විවෘත ආර්ථිකය නිසා සිදුවුණු මේ වෙනස නැවත වෙනස්‌ කරගෙන නිලධාරින් වගේම දේශපාලනඥයනුත් කටයුතු කළොත් විධිමත් රාජ්‍ය සේවයක්‌ සමග සමෘද්ධිමත් රටක්‌ බිහිකර ගන්න අපහසු නැහැ.

Source: divaina (Sri Lanka)
සාකච්ඡා කළේ පාලිත සේනානායක