මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට හිටපු ජනපති ඡේ. ආර්. ගේ තීන්දුව කිසිම ජනපතිවරයකු වෙනස්‌ කළේ නෑ

හිටපු ජනාධිපතිවරයකු වන ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් 1977 වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ගත් සංවේදී තීන්දුව මෙතෙක්‌ රට පාලනය කළ කිසිදු ජනාධිපතිවරයකු විසින් වෙනස්‌ කිරීමට පියවර ගත්තේ නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසීය.

මෙය මානුෂික හේතුවක්‌ මුල් කරගෙන ගනු ලැබුවත්, එම මානුෂික මුහුණුවර දිගටම ක්‍රියාත්මක  වුණා. නමුත් වර්තමානයේ සිදුවන අපරාධ අනුව බාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව වැරැදිකරුවන් වන පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කතිකාවතක්‌ කැබිනට්‌ මණ්‌ඩලය තුළ මතුව තිබෙනවා. ඒ සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් අවධානය යොමුව තිබෙනවා” යෑයි ද කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පෙරවරුවේ පැවැති අපරාධ දූෂණ හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණයේදී “දිවයින” නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

උපාලි ද සේරම් සහ තුෂාරී කළුබෝවිල

Source: Divaina (Sri Lanka)