භාරත ඝාතන සිද්ධිය ගැන මට කිසිවක්‌ මතක නෑ – දුමින්ද සිල්වා

භාරත ඝාතන සිද්ධිය පිළිබඳව තමාට කිසිදු මතකයක්‌ නැති බව සිංගප්පූරුව මවුන්ට්‌ එලිසබත් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබන සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශයක්‌ ලබා දෙමින් පවසා ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා ගොනුකරමින් කියා සිටියේය.

සැකකාර දුමින්ද සිල්වාට ප්‍රතිකාර ලබාදෙන එම රෝහලේ ශල්‍ය වෛද්‍ය කීත් ගෝ මහතාගේ වාර්තාවක්‌ අනුව ඔහුගේ හිස තුළ ඇති උණ්‌ඩ කැබලි ඉවත් කිරිමට තව ශල්‍යකර්ම කීපයක්‌ සිදුකිරීමට ඇති බවද දන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ හා වෛද්‍ය වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට උපදෙස්‌ ලබාගැනීමට කටයුතු යොදන බවද අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණය දා (ඔක්‌තෝබර් 08 දා) කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ දුමින්ද – භාරත වෙඩි හුවමාරුවට අදාළ පැමිණිල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්නඅල්විස්‌ මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කරුණු දක්‌වා සිටියේය.

වෙඩි තබා ගැනීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනයට ලක්‌වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තුවාල සිදුවීම සම්බන්ධයෙන් මෙහි පරීක්‍ෂණ පැවැත්වේ.

ඝාතන සිද්ධීන්වලට අදාළව සැකකරුවන් 16 දෙනකු නම්කර ඇති අතර රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇති ඔවුහු පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර ඇති සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක්‌ ලබාගන්නා ලෙසට පසුගිය ජුලි 10 දා අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රංජිත් ළමා හේවා මහතා පසුගිය 22 දා එම රෝහලට ගොස්‌ අදාළ ප්‍රකාශය ලබාගෙන තිබිණි.

සැකකරු ලබාදුන් ප්‍රකාශය අනුව ඔහු එදින කොලොන්නාවේ තමිල්නාඩු වත්තට ගොස්‌ ඡන්දායකයන් හමුවී කතාබස්‌ කර ඇති බවත් පසුව ඇඳක්‌ මත සිටි බවත් කියා ඇතැයි පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අසල සිටි අයගෙන් ඒ පිළිබඳව ඇසූ විටදී රෝහල්ගත කර සිටින බව දැනගෙන ඇති බව ප්‍ර්‍රකාශ කර ඇතැයි කියා සිටියේය.

වෛද්‍යවරුන් පැමිණ වෙඩි වැදී තුවාල සිදුව ඇති බවට දැන්වූ බවද සැකකරුගේ ප්‍රකාශයේ සඳහන් වන බව පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන් වෙත වෙඩි තැබුවේ කවුද? කුමන ස්‌ථානයකදීද යන්න පිළිබඳව කිසිදු මතකයක්‌ නැති බවට එහිදී ඔහු කියා ඇති බව අධිකරණයට දන්වා සිටියේය.

එහිදී ඝාතනයට ලක්‌වූ ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කරුණු දක්‌වමින් සැකකාර දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට නියෝග කිරීම පිළිබඳව අධිකරණයට ස්‌තූතිවන්ත වන බවත් මෙම ප්‍රකාශ හා වාර්තා අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව නීතිපතිවරයාගේ ස්‌ථාවරය දැනුම් දිය හැකි බවත් කියා සිටියේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් තමන් කිසිවක්‌ නොදන්නා බවත් ඔහු මෙම පැමිණිල්ලේ වින්දිතයකු බවත් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 7 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගතකරන තබන ලෙසට නියෝග කරමින් ඝාතනයට ලක්‌වූ ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කර ඇතැයි කියන ප්‍රකාශ තුළින් අධිකරණයට අපහාසයක්‌ සිදුව ඇත්දැයි ඉහළ අධිකරණය වෙත දැනුම්දීමේ තීරණය එදිනම ප්‍රකාශයට පත්කරන බව කියා සිටියේය.

පියදාස රණසිංහ
Source: Divaina (Sri Lanka)