ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් හෙජින් ගිවිසුමට අදාළව ලබා දී තිබූ තීන්දුවට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලන්ඩන් වාණිජ්‍ය අධිකරණයේ ගොනුකර තිබූ අභියාචනයෙන් ද ඛනිජ තෙල් සංස්ථාව පරාජයට පත්ව ඇත.
මෙම තීන්දුවට එරෙහිව යළිත් නීතිපති උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව මගින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ සුසන්ත සිල්වා මහතා නිවේදනය කර සිටී.
හෙජින් ගිවිසුමට අදාළව ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව, ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැටහතරක් ඉල්ලා පැවරූ නඩුවේ තීන්දුවට එරෙහිව මෙම අභියාචනය තෙල් සංස්ථාව මගින් ඉදිරිපත් කර තිබිණි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙදහසකට (රු.කෝටි 2000 කට) අධික මුදලකි.
මෙම හෙජින් ගිවිසුමට අනුව ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවට ඩොලර් මිලියන එකසිය හැටහතරක් ගෙවන ලෙසට ලන්ඩන් වාණිජ්‍ය අධිකරණය සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණි.
එම තීන්දුවට එරෙහි නීතිපති උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අභියාචනයෙන් ද මෙලෙස පරාජයට පත්ව තිබේ.
කෙසේ වෙතත් යළිත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව තීරණය කර ඇති අතර එය අසාර්ථක වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැටහතරක මුදලක් ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවට ගෙවීමට සිදුවනු ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් ගෙන දී තිබෙන හෙජින් ගිවිසුම අත්සන් කළ නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයෝ සිය කනස්සල්ල පළකර සිටිති.
ශිරාන් රණසිංහ සහ සචිත්ර ඇල්වලගේ
Source: Divaina (Sri Lanka)