වැඩිම නිලධාරීන් පිරිසක්‌ ඔලිම්පික්‌ යෑවීමේ පදක්‌කම ශ්‍රී ලංකාවටයි

ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික්‌ උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකු සහභාගි වන විට නිලධාරීන් 30 ක්‌ එහි ගොස්‌ ඇති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (30 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.ඔලිම්පික්‌ උළෙලට ක්‍රීඩකයන් සහභාගි කරවීම කෙසේ වෙතත් වැඩිම නිලධාරීන් පිරිසක්‌ සහභාගි කරවීම සම්බන්ධව ශ්‍රී ලංකාවට රන් පදක්‌කමක්‌ හිමිවනු ඇති බව හෙතෙම කීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ගයන්ත කරුණාතිලක මහතා මේ කරුණු අනාවරණය කළේය. රටේ නායකත්වය දෙනු ලබන ආදර්ශය අද පහළ මට්‌ටමේ නිලධාරීන්ගේ සිට ක්‍රියාත්මක කරමින් මහජන මුදල් කාබාසිනියා කරමින් සිටින බව ද හෙතෙම කීය.

ආණ්‌ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා හෙජින් ගනුදෙනුවෙන් රුපියල් කෝටි ගණනක්‌ මෙරටට ගෙවීමට සිදුව තිබෙන බව ද කරුණාතිලක මහතා පැවසීය. හෙජින් නඩුවට පෙනී සිටීමට යෑයි කියමින් ආණ්‌ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් බුරුතු පිටින් පිටරටවලට යැමට වැය කළ මුදල් ද අද ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ අහිංසක අසරණ ජනතාවට බව ද සිහිපත් කළේය.

පියසේන දිසානායක

Source: Divaina (Sri Lanka)