තඹුත්තේගම ඊයේ “පුංචි යුද පිටියක්‌” (inc. Video)

එක්‌ දරු මවකට මරු කැඳවූ රිය අනතුරකට සම්බන්ධ රියෑදුරුට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකළ බව කියමින් කෝපයට පත් වූ දහසකට අධික පිරිසක්‌ තඹුත්තේගම පොලිසිය වට කරගෙන ඊට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් නොසන්සුන් ලෙස හැසිරීම නිසා ඊයේ (02 වැනිදා) පෙරවරුවේ තඹුත්තේගම නගරය පුංචි යුදපිටියක්‌ බවට පත් විය.

ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස්‌ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළහ. එහෙත් ඊයේ දහවල් වනතුරුම කලහකාරී පිරිස්‌ තඹුත්තේගම පොලිසිය වටකරගෙන ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිය විරෝධය ප්‍රකාශ කළහ. කලහකාරී පිරිස්‌ මෙම විරෝධතාව පැවැත්වූයේ අනතුරින් මියගිය එක්‌දරු මවගේ සිරුර තඹුත්තේගම පොලිසිය ඉදිරිපිට මාර්ගයේ තබාගෙනය. මෙම සිද්ධිය නිසා කුරුණෑගල අනුරාධපුරය මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා සිදු විය.

ඉකුත් 30 වැනිදා තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි චන්ද්‍රිකා කුමාරි චන්ද්‍රසිරි නමැති එක්‌දරු මව මිය ගියාය. මෙම එක්‌දරු මව ඇතුළු පිරිසක්‌ ගමන් ගත් අත්ට්‍රැක්‌ටරය බීමත් රියෑදුරකු පැද වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.

අනතුරුට සම්බන්ධ රියෑදුරු තඹුත්තේගම පොලිසිය මගින් පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සැකකරුට ඇප ලබා නොදෙන ලෙසත් ඔහු දින 14 ක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් තඹුත්තේගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් තඹුත්තේගම අධිකරණය රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප දෙකක්‌ මත රියෑදුරු මුදාහරිනු ලැබූ අතර මියගිය මව වෙනුවෙන් රුපියල් පනස්‌දහසක මුදල් වන්දියක්‌ සහ තුවාල ලැබූ සිව්දෙනකුට රුපියල් දස දහස බැගින් මුදල් ගෙවන ලෙසත් රියෑදුරුට නියෝග කරන ලදී.

මෙම සිද්ධියෙන් පසු කෝපයට පත් වූ තඹුත්තේගම පහලබිලිබෑව ප්‍රදේශයේ ජනතාව විශාල පෙරහැරකින් ඊයේ පෙරවරුවේ තඹුත්තේගම නගරයට පැමිණියේ මියගිය එක්‌දරු මවගේ දේහයද රැගෙනය.

තඹුත්තේගම අධිකරණය ඉදිරිපිටින් ද විරෝධතා දක්‌වමින් පැමිණි පිරිස පොලිස්‌ ස්‌ථානය ඉදිරිපිට රැස්‌ වී සටන්පාඨ කියමින් කෑකෝ ගසන්නට පටන් ගත්හ.

එම ස්‌ථානයෙන් පිටවී යන ලෙස පොලිසිය ඔවුන්ගෙන් ඉල්ලීමක්‌ කළද එය නොතැකූ විරෝධතාකරුවෝ පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ලකරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්හ.

කලහකාරීන් එල්ල කළ ගල්මුල් ප්‍රහාරවලින් පොලිස්‌ ස්‌ථානයේ ජනෙල් වීදුරු කීපයකටද අලාභහානි සිදු විය. ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරන ලදී.

පසුව කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ද කැඳවා විරෝධතාකරුවන් විසිරුවා හැරීමට පොලිසිය පියවර ගත්තේය.

මෙහිදී තඹුත්තේගම පොලිසියේ ස්‌ථානාධිපති සෙනෙවිරත්න මහතා කියා සිටියේ මෙම බීමත් රියෑදුරුට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරද්දී මේ ආකාරයට පොලිසියට එරෙහිව විරෝධතා දැක්‌වීම සම්පූර්ණයෙන් ම වැරැදි ක්‍රියාවක්‌ බවයි.

හේමන්ත රන්දුණු, සී. එම්. ආරියපාල සහ කේ. නන්දන
Source: Divaina (Sri Lanka)