වසර 3ක් වැනි කෙටි කාලයක දී බිම් බෝම්බ ලක්‍ෂ 9ක් – ගෝඨාභය රාජපක්‍ෂ

කොටි ත්‍රස්තවාදීන් විසින් වළ දමා තිබූ ලක්‍ෂ 9 කට ආසන්න බිම් බෝම්බ ප්‍රමාණයක් මේ වන විට ආරක්‍ෂක අංශ ඉවත් කර ඇත. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව අනාවරණය කළේ කොළඹ ගලදාරි හෝටලයේ පැවැති අන්තර් ජාතික ආරක්‍ෂක සමුළුවේදීය.

යුද ටැංකි නාශක බෝම්බ, පුද්ගල නාශක බෝම්බ ඇතුළු බිම්බෝම්බ මෙලෙස ඉවත් කිරීමට රාජ්‍ය නොවන සංවිධානවල සහාය ද ආරක්‍ෂක අංශ වෙත ලැබුණු බවත්, ඉකුත් වසර තුනක කාලයේ මේවා ඉවත් කිරීමට හැකි වූ බවත්, ආරක්‍ෂක ලේකම්වරයා කීය.

උතුරේ ප්‍රදේශ කිහිපයක මෙන්ම අවසන් ගැටුම් පැවැති ප්‍රදේශවල පුද්ගලයන් යළි පදිංචි කිරීමේදී මේ බිම්බෝම්බ විශාල ගැටලුවක්ව තිබූ බවත්, අදාළ බිම්බෝම්බ කඩිනමින් ඉවත් කිරීමට හැකි වීමෙන් පුද්ගලයන් යළි පදිංචි කිරීම ඉතා ඉක්මනින් සිදු කිරීමට හැකි වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

බිම්බෝම්බ උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් වැඩිම බෝම්බ ප්‍රමාණයක් ඉවත් කර ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර, බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලද සුනඛයන්, යුද හමුදා සෙබළුන් බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට යොදා ගැනිණි.

දැනට බිම්බෝම්බ වළලා ඇති ප්‍රදේශ සියල්ල හඳුනාගෙන ඇති අතර ඉතා කෙටි කාලයක දී මේවා ගලවා ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
Source: Dinamina (Sri Lanka)