ලෝකයේ අඩුම වැටුප් ලබන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිටින්නේ ශ්‍රී ලංකාවේයි

ලෝකයේ අඩුම වැටුප් ලබන විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩල සිටින්නේ ශ්‍රී ලංකාවේ යෑයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයට සහභාගි වෙමින් ආචාර්යවරුන්ගේ සංගමයේ උප සභාපති දඹර අමිල හිමියෝ පැවැසූහ.

කොළඹ හා ඒ අවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 300 කගේ පමණ සහභාගිත්වයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය ඊයේ පාර්ලිමේන්තුව ආසන්නයේ එහි පිවිසුම් මාර්ගයේදී පවත්වනු ලැබීය.

මෙම විරෝධතා ව්‍යාපාරය පැය 13 කට පමණ පෙර කෙටි කාලයක්‌ තුළ සංවිධානය කිරීමට සිදුවූ නිසාවෙන් සමස්‌ත විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලය මෙහි කැඳවීමට නොහැකි වූ බවත්, ඉදිරි දිනයේ රජය මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට සහය ලබා නුදුනහොත් මෙයට වඩා දැඩි පියවරක්‌ ගැනීමට සංගමයක්‌ වශයෙන් අපට සිදුවන බවත් පැවසූහ.

විශ්වවිද්‍යාලයීය දරුවන්හට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සිදුවන කෙටිකාලීන අපහසුතාව පිළිබඳව සංගමයේ සංවේගය පළකරන බවත් මෙම ක්‍රියාමාර්ගය තුළින් සිසුන්ට දිගුකාලීනව සිදුවන යහපත එයටත් වඩා ප්‍රයෝජන වන බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලදී.

ලොව අඩුම වැටුප් ලබන විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලය සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත් පෙන්වා දුන් උන්වහන්සේ රජය අධ්‍යාපනයට යොමු කළ ප්‍රතිපාදන ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටින බවත් පැවැසූහ.

මෙම තත්ත්වය යටතේ උගත් පරපුර දිවයිනෙන් බැහැරව විදේශගත වීමෙන් ශ්‍රී ලංකාවේ විද්වතුන්ගේ හිඟයක්‌ ඇතිවනු ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ඇන්ටන් ප්‍රනාන්දු
Source: Divaina (Sri Lanka)