ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට හා පූජනීයත්වයට පාත්රවූ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඊයේ (19) පෙරවරු 10.05 ට ශ්‍රී ලංකාවට වැඩම කළහ.
ඉන්දියාවේ දිල්ලිනුවර සිට වැඩමකරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව මහත් හරසරින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගන්නා ලදී.
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද අතර එය ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික
සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නක් වෙයි. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත්කර ඇති එම ධාතූන් වහන්සේ අවසන් වරට 1978 වසරේදී ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද අතර එය බුදුරජාණන් වහන්සේගේ පස්වැනි ශ්‍රී ලංකා ගමනය ලෙස ද සැලකේ. වසර 34 කට පසුව ශ්‍රී ලංකාවට වැඩි මේ ධාතූන් වහන්සේලා ලාංකීය බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙති.
ඉන්දියාවේ සිට වැඩම කළ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සංස්කෘතික කටයුතු ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලද අතර ධාතූන් වහන්සේ මහත් හරසරින් පිළිගත් ජනාධිපතිවරයා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනය මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ මණ්ඩපයක තැන්පත් කළේය.
මෙම ධාතූන් ප්‍රදර්ශනය කෙරෙන සෑම දිනෙකම උදෑසන, දහවල්, සවස ශබ්ද පූජාවන් සමඟ තේවාවන් පැවැත්වේ.
සකල ලෝවැසි බෞද්ධ ප්‍රජාවටම මහත් ආඩම්බරයක් ගෙන දෙන කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම ලාංකීය බෞද්ධයන් පමණක් නොව අනෙකුත් ආගමිකයන්ද ලැබූ භාග්‍යයක් මෙන්ම වාසනාවක් වන්නේය. ජනී ජනයාගේ පහන් සිත් පුබුදුවාළන බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතු වර්තමානයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිප්රාවා නැමැත් ස්ථානයේ කළ කැණීම්වලින් සොයාගෙන ඇත.
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව සර්වඥ ධාතූන් බෙදාහැරීමේ ශාක්‍ය වංශික ඥාතීන් වෙත ලබාදුන් ධාතූන් වන්නේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේය. සත්‍ය ලෙසම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් ලෙස තහවුරුකර තිබීම හේතුවෙන් එය ලොවපුරා බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූහ.
මෙම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට හැකිවීම ඉන්දු – ශී‍්‍ර ලංකා දිගුකාලීන බැඳීම තවදුරටත් තහවුරු කරන්නක් බවට එරට මධ්‍යම රජය ප්‍රකාශ කර සිටී.
දඹදිව අශෝක අධිරාජ්‍යයාගේ කාලයට අයත් යැයි සැලකෙන කපිලවස්තු ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා එම නමින් හැඳින්වීම පිටුපසද ඵෙතිහාසික කතා පුවතක් පවතින අතර කුසිනාරා නුවර – උපවත්තන සල් උයනේදී බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේගේ ශී‍්‍ර දේහය ආදාහනය කර ශේෂ වූ ධාතූන් වහන්සේලා දඹදිව රජවරුන් අතර බෙදා ගත්හ.
බුදුන් උපන් කිඹුල්වත්පුරය හෙවත් කපිලවස්තු පුරයේ ශාක්‍යයන්ට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා කපිලවස්තුපුර සර්වඥ තූන් ලෙසින් පසුකලෙක හඳුන්වනු ලැබුවා. මෙම ධාතූන් වහන්සේලා ප්‍රථම වරට සොයාගනු ලැබුවේ මීට වසර 113 කට ඉහතදීයි. අද කපිලවස්තු පුරය බිහාර් ප්‍රදේශය ලෙස හැඳින්වෙනවා.
සර්වඥ ධාතූන් වැඩම කරවීමේ අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, පළාත් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අති විශාල පිරිසක් පැමිණ සිටියහ.
මහින්ද අලුත්ගෙදර
Source: Dinamina (Sri Lanka)