ත්‍රස්තවාදය පිටුදැකීමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ජනපති නොබැඳි සමුළුවේ දී ප්‍රකාශ කරයි

ත්‍රස්තවාදය පිටුදැකීමටත්, සාමය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත් ගන්නා බහුපාර්ශ්වීය ප්‍රයත්නවලට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉරානයේ ටෙහෙරාන් නුවර දී නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ඊයේ (30) ප්‍රකාශ කෙළේය.

ඉරානයේ ටෙහෙරාන් නුවර දී ඊයේ (30) පැවැති නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ සමාප්ති උත්සවයේ මුලසුන දරන ලද්දේ ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

නොබැඳි ජාතීන්ගේ 16 වැනි රාජ්‍ය නායක සමුළුව ඊයේ පෙරවරුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර දී ආරම්භ වූ අතර ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව ඇමතීය.

“අභියෝග හමුවේ එකමුතු පාලනයක් තුළින් තිරසාර සාමය” යන්න මෙවර සමුළුවේ තේමාව විය. රාජ්‍යයන් 120 ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

මානව වර්ගයාගේ සමාජ ආර්ථික අභිවෘද්ධියට බාධා පමුණුවන දේශ සීමා අභිබවා ගිය සාපරාධී සංවිධාන විසින් කරනු ලබන සංවිධානාත්මක අපරාධ සහ සාම්ප්‍රදායික නොවන තර්ජනවලට සමීප සම්බන්ධයක් ඇති ගෝලීය ත්‍රස්තවාදයේ තර්ජනයට ලොව මුහුණපාමින් සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

පැහැදිලි ප්‍රතිපත්තියක් තුළින් වසර තුනකට පෙර ත්‍රස්තවාදී අභියෝගය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර මෙවන් තර්ජනයක් නිමා කිරීමට සහ එවැනි අවස්ථාවල පශ්චාත් අර්බුද අභියෝග ජයගැනුමට ශ්‍රී ලංකාවේ මෙන් තමන් විසින්ම සකසා ගත් හා ජනතාව පදනම් කරගත් ප්‍රවේශයක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එමෙන්ම ත්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණ දී සිටින රටවලට අන්තර්ජාතික ප්‍රජාව සහයෝගය දැක්විය යුතුමය. මෙම ව්‍යසනය අප විසින් තුරන් කිරීමට නම් දෙබිඩි ප්‍රතිපත්ති හෝ යම් කොටසකට පමණක් වාසිවන ප්‍රමිති හා ප්‍රතිපත්ති නොතිබිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

“ස්වාධිපත්‍යයට ගරු කළ යුතුය යන ප්‍රතිපත්තිය අප විසින් පිළිගත යුතු අතර සියලු දෙනාටම එක ලෙස සැළකිය යුතු වෙමු. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ හා නොබැඳි ප්‍රතිපත්තිවල පැහැදිලි ලෙස දක්වා ඇති පරිදි රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුය යන්න ස්ථිර ප්‍රතිපත්තිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිළිපැදිය යුතු යැයිද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලෝක සංවිධානයේ නියමාකාර සාමාජිකයකු ලෙස පලස්තීන ජනතාවගේ උදුරාගත නොහැකි අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා දශක හයකට පසුවත් පලස්තීන ගැටලුව නොවිසඳී තිබීම පිළිබඳ කනගාටුවන බවද කියා සිටියේය. ඉතා දුබල හා බිඳෙන සුළු ලෝක ආර්ථිකයක් තිබියදී හා රට දුර්වල කරන දශක තුනක ත්‍රස්තවාදී අර්බුද මගින් පනවන ලද බාධක පසුකරගෙන ගොස් සිටිය දී වුවද ශ්‍රී ලංකාව සහස්‍ර සංවර්ධන අරමුණුවල නියමිත ඉලක්ක සපුරමින් බොහෝ දේ අත්පත් කරගෙන සිටින බවද ජනාධිපතිතුමා අවධාරණය කෙළේය.

Source: Dinamina (Sri Lanka)