පන්දුවාර 20-20 ලෝක කුසලාන සංචිතයට නම් කරන ලද ඩිල්ෂාන් මුණවීර සහ අකිල ධනංජය දෙදෙනාම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථක සොයා ගැනීම් දෙකක් වූ බව පවසන හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා, එස්. එල්. පී. එල්. තරගාවලිය හරහා තරුණ ක්‍රීඩකයන්ට තම දක්ෂතාවයන් ලොවට පෙන්වීමට හොඳ අවස්ථාවක් හිමිවන බවත්, සඳහන් කර සිටියි.
එස්.එල්.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන මහින්ද්‍ර ගෲප්හි ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරන අයිඩියල් ආයතනයේ වත්මන් උප සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන අරවින්ද ද සිල්වා අදාළ තරගාවලියට අනුග්‍රාහකත්වය පිරිනැමීම මෙන්ම මහින්ද්‍ර ගෲප්හි ව්‍යාපාරික කටයුතු දැනුවත් කිරීම පිළිබඳව ඉකුත්දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස් පළ කර සිටියේය.
‘මුණවීර සහ අකිල දෙදෙනාම මෙම තරගාවලියට පෙර ඉතා හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්. නමුත් ඔවුන්ට සිය රටට ක්‍රීඩා කිරීම සඳහා ඉදිරියට ඒමට අවස්ථාව උදා වුණේ එස්. එල්. පී. එල්. තරගාවලිය හරහා. විශේෂයෙන් අකිල අවු. 19 න් පහළ ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. නමුත් මේ හරහා ඔහුට ජාතික කණ්ඩායමට පැමිණීමට පහසු වුණා’ යනුවෙන් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අරවින්ද, වසර 25 කට පෙර තමා දුටු සිහිනයක් එස්. එල්. පී. එල්. තරගාවලිය නිසා යථාර්ථයක් බවට පත්වී තිබෙන බවද සඳහන් කළේය.
‘මම තරුණ කාලයෙදි මගේ ඉලක්කය වෙලා තිබුණේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් නියෝජනය කරන එක. ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් ගොඩක් ඒ තරගාවලියට ක්‍රීඩා කරන නිසයි මම ඒ තරගාවලියට ක්‍රීඩා කිරීමට ආස කළේ’.
‘විශේෂයෙන්ම කියනවා නම් මගේ පෞද්ගලික හැකියාව පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති වුණේ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමෙන් පසුවයි. ඒකෙන් මම රටට ක්‍රීඩා කිරීම පිළිබඳව බොහෝ දෙවල් ඉගෙන ගත්තා. අන්න ඒ වගේ තමයි එස්. එල්. පී. එල්. තරගාවලියත්. මේ තරගාවලිය නිසා අපේ තරුණයන්ට ශ්‍රී ලංකාවෙදීම ඒ හා සමාන තරගාවලියකට සහභාගිවීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මං අවු. 25 කට පෙර දැක්ක හීනයක් එස්. එල්. පී. එල්. නිසා දැන් සැබෑවෙලා’ යනුවෙනි.
මෙම මාධ්‍ය හමුවේදී අයිඩියල් ආයතනයේ සභාපති නලින් වෙල්ගම මහතාද අදහස් දක්වූ අතර, පළමු පන්දුවාර කිහිපය තුළදී වේගයෙන් ලකුණු රැස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව විසින් කරන ලද අත්හදා බැලීමක් සාර්ථකවීමේ ප්රථිඵලයක් ලෙස මෙම පන්දුවාර 20-20 තරග ලෝකයට බිහිවී තිබෙන බව සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් කරුණු දැක්වූ වෙල්ගම මහතා, ‘1996 දී අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා ලෝක කුසලාන ජය ගනිමින් ශ්‍රී ලංකාව කියන එක ලෝක සිතියමට අරන්ගිය ප්‍රධාන නියෝජිතවරුන් දෙදෙනා බවට පත්වුණා. ඔවුන් තමයි ක්‍රීඩාවේ ක්‍රමය වෙනස් කළේ. විශේෂයෙන්ම සනත් සහ කලුවිතාරණව යොදවලා පළමු පන්දුවාර 15 තුළදී පන්දු රකින්නන් රැඳවීමේදී ගත හැකි උපරිම වාසිය ගනිමින් වේගයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ ඒ කාලේ. පන්දු රකින්නන්ට ඉහළින් වේගයෙන් ලකුණු රැස් කරන එක දැකලා ගොඩක් අය තම කණ්ඩායම්වල පිතිකරුවන් දිහා බලමින් එය අත්හදා බැලුවා. ඒය ක්‍රම ක්‍රමයෙන් දියුණුවීම හරහා තමයි මේ පන්දුවාර 20-20 තරගත් බිහිවෙලා තියෙන්නේ’ යනුවෙන් පැවැසීය.
මෙහිදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අනුග්‍රාහකත්වය කොතරම් කාලයකදී ලබාදෙන්නේ දැයි මාධ්‍යවේදියෙකුගෙන් ඇසූ පැනයකට පිළිතුරු දුන් මහින්ද්‍ර ගෲප්හි සභාපති ශ්රීප්රකාශ් ශුක්ලා මහතා ගිවිසුම්ගත කරුණු අනාවරණය කිරීමට නොහැකි බව සඳහන් කළේය.
චමිල කරවිට
Source: Divaina (Sri Lanka)