චෙන්නායි ගිය වන්දනා නඩයකට කොටි හිතවාදීන් ආයෙත් ගහලා

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ට්‍රිචි ගුවන් තොටුපළ වෙත පොලිස් ආරක්‍ෂාව මැද පැමිණි ශ්‍රී ලාංකිකයන් රැගත් බස් රථ පහකට ඊයේ (4) පස්වරු කොටි හිතවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවත් බස් රථ තුනකට දැඩි අලාබහානි සිදු වී ඇති බවත් චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආර්. කේ. බී. රාජකරුණා මහතා ‘දිනමිණ’ට ඊයේ (04) පැවැසීය.

පුද්ගලයන් හැත්තෑපහත් සියයත් අතර පිරිසක් මේ ප්‍රහාරය එල්ල කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් පුද්ගලයන් සිවු දෙනකුට පමණ සීරීම් තුවාල සිදුවී ඇති බවත් රාජකරුණා මහතා පැවැසීය.

කොටි හිතවාදීන්ගේ මුදල් මත මේ ප්‍රහාරය එල්ල කර ඇති බවද හේ පෙන්වා දුන්නේය. ඉන්දියාවේ තමිල්නාඩුවේ තන්ජුමුර් හි පුම්මතා දේවස්ථානයේ වන්දනාවට ගිය ශ්‍රී ලාංකිකයන් 184 දෙනකු මෙසේ හිරිහැරයට ලක් වී තිබේ. පෙරේදා (03) පස්වරුවේද කොටි හිතවාදීන් විසින් මේ පිරිසට මරණ තර්ජන එල්ල කළ අතර පසුව ඔවුන්ට පොලිස් ආරක්‍ෂාව ලබාදීමට ඉන්දියා රජය පියවර ගෙන තිබිණි. පසුව ඊයේ (04) පොලිස් ආරක්‍ෂාව මැද මෙම පිරිස චෙන්නායි සිට ට්‍රිචි ගුවන් තොටුපළ වෙත ගෙන එමින් සිටින අවස්ථාවේ මෙම ගල්මුල් ප්‍රහාරය එල්ල කර ඇත.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වහාම ක්‍රියාත්මකවී මේ පිරිසට ආරක්‍ෂාව ලබා දී තිබේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ සුභාෂිනී සේනානායක

Source: Dinamina (Sri Lanka)