වන්දනාකරුවන්ට ගැහිල්ලෙන් ඉන්දියා මාධ්‍ය සසල වෙයි

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසකට ඉන්දියාවේ දී පසුගියදා (02) කොටි හිතවාදීන් එල්ල කළ ප්‍රහාරය දෙරටේ මිත්‍රත්වයට අහිතකර බලපෑම් ඇතිකරන තත්ත්වයකට පත් විය හැකි යැයි මෙම ප්‍රහාරය හෙළා දකිමින් “ද හින්දු” පුවත් පත ඇතුළු මාධ්‍ය රැසක් ඊයේ (5) වාර්තා කළේය.

”ද හින්දු” පුවත්පතට අමතරව “තිනමනි” පුවත්පත “THE TIMES OF INDIA” සහ “THE INDIAN EXPRESS” මාධ්‍ය ද තමිල්නාඩු හිටපු මහ ඇමැති එම්. කරුණානිධි මහතා ද මේ ප්‍රහාරය හෙළා දැක තිබේ.

තමිල්නාඩුවේ යුගල පාපන්දු තරඟයකට සහභාගි වීම සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා පාසල් පාපන්දු කණ්ඩායම් දෙක නැවත සියරටට පලවා හැරීමට තමිල්නාඩු මහ ඇමැතිනිය බලධාරීන්ට නියෝග කිරීමේ සිද්ධිය ශ්‍රී ලාංකික සංචාරකයන් සහ වන්දනාකරුවන් පළවා හැරීම දක්වා වර්ධනය වී ඇති බව “ද හින්දු” පුවත්පතේ කතුවරයා පෙන්වා දෙයි. තමිල්නාඩු මහ ඇමැතිනියගේ එම නියෝගය ඉන්දියා රජයේ ප්‍රතිරූපයට මෙන්ම විවෘත හා බහු මතවාදයන්ට ගරු කරන රටක් ලෙස ඉන්දියාවට ඇති කීර්තිනාමයට හානිකර වූවක් බවද ද හින්දු පුවත්පත් කතුවරයා පෙන්වා දී තිබේ. හිටපු මහ ඇමැති එම්. කරුණානිධි මහතා පවසා තිබෙන්නේ ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම් දෙකක් ආපසු යැවීමට මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් කළ තර්ජනය දැඩි සේ හෙළා දකින බවයි.

තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට කොටි හිතවාදීන් එල්ල කරන මේ ප්‍රහාර සහ තර්ජන සම්බන්ධව ඉන්දියා රජය වගකිවයුතු බව තමිල්නාඩුවේ දී ප්‍රකාශයට පත්කරන “තිනමනි” පුවත්පත් කතුවරයා පවසා තිබේ. ඉන්දියා ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ ආරක්ෂා සහිතව නැවත එරටින් පිටට යාමට තරම් සුහද සැලැකීමක් ලංකාවෙන් ලැබී තිබියදී, එරට සංචාරකයන් හා වන්දනා කරුවන්ට ඉන්දියාවේ දී එල්ල වන ප්‍රහාර සම්බන්ධව ඉන්දියා රජය වගකිවයුතු තීරණයක් ගත යුතු බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගියදා තමිල්නාඩුවේ වෙල්ලක්කන්නි සහ පුන්ඩි යන දෙව්මැදුරු වැඳ පුදා ගැනීම සඳහා සහභාගී වී පහරකෑමට ලක්වූ වන්දනාකරුවන් 178 දෙනාගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලාංකික දෙමළ ජනයා වෙති.

ඔවුන් වාර්ෂිකව මේ දෙව්මැදුරුවල පූජාවන්ට සහභාගි වන අය වෙති. වැඩි පිරිසක් රෝගීවී සිට දෙව්මැදුරුවලට බාර හාර වී ඒවා ඉටු කිරීමට ගිය අය බවත් සඳහන් වෙයි.

Source: Dinamina (Sri Lanka)