රටවල් 54 ක රාජ්‍ය තාන්ත්‍රිකයෝ 850 ක්‌ අද – හෙට ශ්‍රී ලංකාවට

පොදු රාජ්‍ය මණ්‌ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 58 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා අද (07 දා) සහ හෙට (08 දා) ලොව පුරා රටවල් පනස්‌ හතරක කථානායකවරු සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු අටසියයකට අධික පිරිසක්‌ මෙරටට පැමිණෙති. මෙම 9 වැනිදා (අනිද්දා) සිට 14 වැනිදා දක්‌වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සැසිවාරය නිසා කොළඹ හා ඒ අවට දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවද ඒ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යෙදවීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇතැයිද එම සැසිවාර සංවිධාන කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා Zදිවයිනzට කීවේය.

එම රටවල් පනස්‌හතර නියෝජනය කරමින් පැමිණෙන මෙම පාර්ලිමේන්තු රාජ්‍ය නායකයින් එකසිය හැත්තෑනවයක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර කථානායකවරු 54 දෙනෙක්‌ද සිටිති.

පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ අනුශාසක ලෙස කටයුතු කරන්නේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනය. නියෝජ්‍ය අනුශාසක ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරයි.

කොළඹ පැවැත්වෙන 58 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසිවාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා පෙරවරු 9.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වේ.

ඊට පෙර එනම් 9, 10 යන දිනවලදී පොදු රාජ්‍ය මණ්‌ඩල රටවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ රැස්‌වීම සහ කුඩා රටවල මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය සහ විධායක සභාව රැස්‌වෙති.

පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කථානායක චමල් රාජපක්‍ෂ මහතා කටයුතු කරයි.

මෙවර සැසිවාරය ශ්‍රී ලංකාවට ලැබීම රටට කීර්තියක්‌ බවද යුද ජයග්‍රහණයට පසුව පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර සම්මේලනය මෙය බවද නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා කීවේය. ලබන වසරේදී මෙරට පවත්වන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා මෙම සැසිවාරය පෙරහුරුවක්‌ වන බවද කී හෙතෙම ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ පාර්ශ්ව ජාත්‍යන්තර වශයෙන් ගෙනයන දුර්මත අසත්‍යයක්‌ බවට විදෙස්‌ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සියෑසින් දැකබලා ගැනීමේ අවස්‌ථාවද මෙම සැසිවාරය නිසා ලැබෙනු ඇතැයි කීය. පොදු රාජ්‍ය මණ්‌ඩල රටවල මන්ත්‍රීවරුන් මෙන්ම දැනට විපක්‍ෂයේ සිටින එම රටවල හිටපු අගමැතිවරුද ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුද මෙම 14 වැනිදා දක්‌වා පවත්වන සැසිවාරයට සහභාගී වන බව නියෝජ්‍ය කථානායකවරයා කීවේය.

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

Source: Divaina (Sri Lanka)