Home » Sports »

ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව අපට තියෙනවා – බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහිම්

 

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව පරාජය කිරීම නිසා සිය ක්‍රීඩකයන් දැඩි විශ්වාසයකින් පසුවන බවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්ව සිටින සමහර කණ්ඩායම්වලට වඩා බංග්ලාදේශය ශක්තිමත් බවත් නායක මුෂ්ෆිකර් රහිම් පවසයි.

එම තරගාවලියේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමෙන් පසුව තම කණ්ඩායම සහභාගි වන පළමු ප්‍රධාන තරගාවලිය මෙය බවත් දවසේ තුන් ඉරියව්වෙන්ම දක්ෂ ලෙසින් ක්‍රීඩා කළොත් ජය නියත යැයිද රහිම් ඊයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

උපරිමයෙන් තරගයට අනුගත වීම විස්සයි20 ක්‍රීඩාවේදී ඉතා වැදගත් බව කී බංග්ලාදේශ නායකයා, වමතින් දඟ පන්දු යවන්නන් හා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් තම කණ්ඩායම සතුව සිටින බව අනාවරණය කළේය.

“අපට දක්ෂ දඟ පන්දු යවන්නන් ඉන්නවා. පල්ලෙකැලේ තණතීරුව වඩාත් හොඳ වේග පන්දු යවන්නන්ට බව අපි දන්නවා. දක්ෂ වේග පන්දු යවන්නන්ද අප සතුව ඉන්නවා. අපේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ සෙල්ලම් කළා. එයාලා මේ පිට්ටනිවල දස්කම් දැක්වුවා. ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාවක් අපට තිබෙනවා” යැයි රහිම් වැඩි දුරටත් කීවේය.

වර්නන් ගුණසේකර

Source: Dinamina (Sri Lanka)