Home » News »

තවත් 6 දෙනකු සමග ඇමැති පුත් මාලක රිමාන්ඩ්

 

කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී යුද හමුදා මේජර්වරයකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කර ඔහු සතුව තිබූ රාජකාරි ගිනි අවිය සහ රන් මාලය කොල්ල කෑ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා ඇතුළු හත්දෙනකු ලබන 24 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා ඊයේ (17 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ඊයේ (17 වැනිදා) පෙරවරුවේ භාර වූ අතර පසුව කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඔවුන් කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම සැකකරුවන් අතර හිටපු ඇමැතිවරයකු වූ මනෝ විඡේරත්න මහතාගේ පුත්‍රයා වන රෙහාන් විඡේරත්න ද සිටින බව පොලිසිය පවසයි. මේ අතර බන්ධනාගාරගත කළ මාලක සිල්වා සහ රෙහාන් විඡේරත්න යන සැකකරුවන් හැර අනෙක්‌ සැකකරුවන් 5 දෙනා ලබන 24 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් 09 වැනිදා අලුයම 3.30 ට පමණ කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී පහර කෑමට ලක්‌ වූ යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයා මේ වන විටත් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර මාලක සිල්වාගේ මිතුරන් දෙදෙනකු සහ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයා රාජකාරි කටයුත්තක්‌ සඳහා කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලය වෙත ගොස්‌ ආපසු යද්දී හෝටලයේ පහළ මාලයේදී සැකකාර මාලක සිල්වා ඇතුළු කණ්‌ඩායමට මුණගැසී ඇත.

ඒ අවස්‌ථාවේ මාලක සිල්වා හමුදා මේජර්වරයාගෙන් දුම්වැටියක්‌ ඉල්ලා තිබේ. මේජර්වරයා ඔහුට දුම්වැටියක්‌ ලබාදී ඇති අතර පසුව ඔහු ගිනිපෙට්‌ටියක්‌ද ඉල්ලා ඇත.

තමා සතුව ගිනිපෙට්‌ටියක්‌ නැති බව මේජර්වරයා පැවැසූ අවස්‌ථාවේ කෝපයට පත්වූ මාලක සිල්වා “ගින්දර නැත්නම් සිගරැට්‌ තියාගන්නෙ මොකටද යකෝ” කියමින් ඔහුට පහරදී තිබේ.

එහිදී මාලක සිල්වා සමග සිටි සෙසු පුද්ගලයන්ද මේජර්වරයාට ඉතාම අමානුෂික ලෙස පහරදී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

මෙම සිද්ධියෙන් පසු මේජර්වරයාගේ රාජකාරි පිස්‌තෝලය සහ රන් මාලය අතුරුදන් වූ අතර පසුව රියෑදුරකු මාර්ගයෙන් එම පිස්‌තෝලය පොලිසිය වෙත භාරදී තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර මාලක සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා සිටියත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

ඊයේ පෙරවරුවේ සැකකරුවන් සියලු දෙනා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත භාරවූ අතර පසුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට, කොම්පඤ්ඤවීදිය පොලිස්‌ ස්‌ථානාධිපති මාලන් පෙරේරා මහත්වරුන් විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන් විශේෂ බන්ධනාගාර ආරක්‍ෂාවක්‌ යටතේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.

Source: Divaina (Sri Lanka)