Home » News »

එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩල තීරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

 

එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය මගින් එම පක්‍ෂයේ නායකත්වය තෝරා පත්කර ගැනීම වසර හය දක්‌වා දීර්ඝ කිරීමට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ගල්කිස්‌ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (19 දා) නිෂ්ප්‍රභ කරන ලදී.

පෙත්සම්කාර පාර්ශවය මගින් අදාළ පෙත්සම ඉල්ලා අස්‌කර ගන්නා බවට කළ දැනුම් දීම කෙරෙහි සැලකිලිමත් වෙමින් දිසා විනිසුරුවරයා පෙත්සම එලෙස නිෂ්ප්‍රභ කළේය.
සිද්ධියට අදාළ පෙත්සම දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ විභාගයට ගත් අවස්‌ථාවේ දී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක්‌ ගොනුකරමින් කරුණු දැක්‌වූ ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා පක්‍ෂ නායකත්වය තෝරාපත්කර ගැනීම වසර හයකට වරක්‌ සිදුකළ යුතු බවට ඉදිරිපත් වූයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ යෝජනාවක්‌ පමණක්‌ බවත් එය පක්‍ෂයේ මහා සම්මේලනයකදී යෝජනා ස්‌ථිරත්වයෙන් පක්‍ෂ ව්‍යවස්‌ථාවට ඇතුළත් විය හැකි බවත් කියා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවය විවිධ අධිකරණ වෙත විවිධ පෙත්සම් ගොනුකර පක්‍ෂ නායකත්වයත් පක්‍ෂයත් අපහසුතාවට පත් කරන බවද පැවසූ මොහොමඩ් මහතා කරුණු නිවැරදිව දැනගෙන වගකීමෙන් කටයුතු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්‌වූ නීතිඥ පර්හාන් කාසිම් මහතා පක්‍ෂ නායකත්වය තෝරා පත්කර ගැනීම වසර හය දක්‌වා දීර්ඝ කිරීම කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ යෝජනාවක්‌ පමණක්‌ බවට හා එය පක්‍ෂ ව්‍යවස්‌ථාවට ඇතුළත් වනුයේ මහා සම්මේලනයකින් සම්මත වුවහොත් පමණක්‌ බවට වගඋත්තරකාර පාර්ශවයේ දැනුම්දීම අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට සූදානම් බවත් නඩු ගාස්‌තුවකට යටත් නොකොට පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ දිසා විනිසුරුවරයා පෙත්සම නඩු ගාස්‌තුවකට යටත් නොකොට ඉල්ලා අස්‌කර ගැනීමට අවසර ලබාදෙමින් පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එහි කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් වගඋත්තරකරුවන් කරමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා සහ තවත් නීතිඥවරුන් දෙදෙනකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

සමන්ත ඉලේපෙරුම, එස්‌. පී. ආරියරත්න
Source: Divaina (Sri Lanka)