Home » News »

බ්‍රිතාන්‍යයේ රැකවරණය පැතූ ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කරයි

 

“යුද්ධය ඉවරයි – දැන් සරණාගත කතා වැඩක්‌ නෑ”
බ්‍රිතාන්‍යයේ රැකවරණය පැතූ ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කරයි

දෙමළ ජනයාට හිරිහැර කරන බවට කිසිම සාක්‍ෂියක්‌ නෑ
බ්‍රිතාන්‍ය රජය කියයි

බ්‍රිතාන්‍යයේ මානුෂික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය දැඩි විරෝධයක්‌ දැක්‌වුවද සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට ඉල්ලීම් කරන ලද දෙමළ ජනයා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ විශේෂයෙන් කුලියට ගන්නා ලද ගුවන් යානා තුනකින් මෙම දෙමළ ජනයා බ්‍රිතාන්‍යයෙන් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය. මේ අනුව පළමු කණ්‌ඩායමට 60 දෙනකු පිටුවහල් කර එවීමට නියමිතය.ගුවන් තොටුපළ ඉදිරිපිට විරෝධය දක්‌වන නිසා මෙම ජනයා පිටුවහල් කරන්නේ ලන්ඩනයේ කුමන ගුවන් තොටුපළින් දැයි සඳහන් කර නැත.

මානුෂික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන තර්ක කරන්නේ මෙම ජනයා ශ්‍රී ලංකාවට යෑවූ පසු ඔවුන් ශ්‍රී ලංකා රජයේ තාඩන පීඩනවලට ලක්‌වන බවයි.

නමුත් බ්‍රිතාන්‍ය රජය පවසන්නේ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ නිමාවත් සමගම ශ්‍රී ලාංකික දෙමළ ජනයාට බ්‍රිතාන්‍යය තුළ සරණාගතයන් ලෙස ජීවත්වීමට අවශ්‍යතාවක්‌ නොමැති බවයි.

තවද ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද දෙමළ ජනයා ශ්‍රී ලංකා රජයේ තාඩන පීඩනවලට ලක්‌වන බවට සාක්‍ෂි නැති බවද බ්‍රිතාන්‍ය රජය පවසයි.

මේ පිළිබඳව “දිවයින”ට අදහස්‌ දැක්‌වූ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලයේ වීසා අංශයේ ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන දෙමළ ජනයා රජයේ තාඩන පීඩනවලට ලක්‌ කෙරෙන බවට කරන චෝදනාවන්ට පදනමක්‌ නැති බවයි.

තවද ඔවුන්ව තාඩන පීඩනවලට ලක්‌ නොවන බව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය පවසන බව කුලරත්න මහතා සඳහන් කරයි.

එසේම මෙම ජනයා ශ්‍රී ලංකා රජයේ තාඩන පීඩනවලට ලක්‌වන බව පවසමින් බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ මුදල් ඉපැයීමට බවත් කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව නිවුන්හැල්ල

Source: Divaina(Sri Lanka)