Home » News »

සරසවියට මැදිහත් වන්න මහා නාහිමිවරු සූදානම්

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විවිධ අංශවලට බාධා පැමිණෙන බැවින් අදාළ ගැටලු දෙපාර්ශ්වය මැදිහත්ව සාකච්ඡා මගින් විසඳා ගැනීමට වහා පියවර ගන්නැයි මල්වතු, අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් ඊයේ (28 දා) නිවේදනයක්‌ නිකුත් කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ඛිත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ නිකුත් කළ නිවේදනය මෙසේය. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන්හි සේව්‍ය – සේවක දෙපක්‍ෂය තුළ ඇති වී තිබූ විවිධ අර්බුදකාරී තත්ත්වයන් හා ඒවාට දෙපක්‍ෂය විසින්ම යම් යම් විසඳුම් සොයා එම ගැටලු නිරාකරණය කරගත් ආකාරය අපි දුටුවෙමු.

එහෙත් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයට මේ වන විට මාස තුනකට අධික කාලයක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ විසඳුමක්‌ ලැබී නැත. මේ නිසාවෙන් අදවන විට බලවත් අසීරුතාවකට පත්ව සිටිනුයේ මහත් දුෂ්කරතා මැද සිය පාසල් අධ්‍යාපනය නිමවා උසස්‌ අධ්‍යාපනය සඳහා වරම් ලැබූ මේ රටේ අනාගත සංවර්ධනයට සුවිශාල ආයෝජනයක්‌ වන බුද්ධිමත් දරු පිරිසකි. තවද මෑතක අවසන් වූ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ පිළිතුරු පත් මේ දක්‌වා ඇගයීමට ලක්‌ නොකිරීම හේතුවෙන් එම සිසුහු ද බලවත් අසීරුතාවකට පත්ව සිටිති. මේ හේතුවෙන් අධ්‍යාපනය සඳහා යෙදවිය යුතු තම වටිනා කාලය නිකරුණේ විනාශ වී අසහනයට පත්වෙන ඒ සිසු පිරිස විවිධාකාර නොමනා ක්‍රියාමාර්ගවලට ද පෙළඹීමට අවකාශ ඇත.

මෙම අර්බුදකාරී තත්ත්වය නොවිසඳීමෙන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සහ ආචාර්ය සංගමය විසින් ද සිදුකරනු ලබන්නේ එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට මේ රටේ බුද්ධිමත් දරු පිරිස ඇද දැමීමට වක්‍රාකාරයෙන් අනුබල දීමකි.

දෙපාර්ශ්වයක්‌ අතර ඇති වන යම් ගැටලුවක්‌ නිරාකරණය කරගැනීම සඳහා අන්තගාමීත්වයෙන් තොරව මැදහත් බවින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඒ නිසා මාස තුනකටත් වැඩි කාලයක්‌ නොවිසඳී ඇති මෙම ගැටලුව දැයේ දූ දරුවන්ගේ අනාගතය ගැන හෝ සිතා බලා ඉක්‌මනින් විසදා ගන්නා ලෙස අදාළ දෙපාර්ශ්වය වෙතම කරුණාධ්‍යාශයෙන් දැනුම් දෙනු කැමැත්තෙමු. අදාළ දෙපාර්ශ්වයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපේක්‍ෂා කරන්නේ නම් මැදහත් පාර්ශ්වකරුවන් ලෙස අපගේ ද සහාය ඊට ලබාදීමට හැකි බව වැඩිදුරටත් සිහිපත් කරම්හ.

සිරිල් විමලසුරේන්ද්‍ර
Source: Divaina (Sri Lanka)