Home » News »

නව විදුහල්පතිට සිසු : දෙමාපිය විරෝධය ගාල්ලේ විද්‍යාලෝකය ඊයේ යුද පිටියක්‌ වේ

 

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාර ගැනීමත් සමග ඊට විරෝධය පළ කරමින් දෙමාපියන් හා සිසුන් පිරිසක්‌ උද්ඝෝෂණය කිරීම හේතුවෙන් ඊයේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ආශ්‍රිත පෙදෙස එකම යුද පිටියක්‌ බවට පත්විය. ඊයේ (1 දා) පෙරවරුවේ මෙම විද්‍යාලයේ නව විදුහල්පති වැඩ භාර ගත් අවස්‌ථාවේ ඊට විරෝධය පළකරමින් දෙමාපියන් දෙසීයක්‌ පමණ විද්‍යාලයේ දොරටුව ඉදිරිපිටට රැස්‌ව ඔහුට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක යෙදෙමින් නොසන්සුන් ලෙස හැසිරෙන්නට වූහ. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. පී. ජී. වාස්‌ ගුණවර්ධන, ගාල්ල පොලිස්‌ අධිකාරි යූ. එස්‌. බණ්‌ඩාරනායක මහත්වරුන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

ගේට්‌ටුව කඩාගත් දෙමාපියන් පිරිසක්‌ විද්‍යාලය තුළට දිවගිය අතර තත්ත්වය පාලනය කිරීමට පොලිස්‌ කැරලි මර්දන ඒකකයද කැඳවනු ලැබිණි.

විද්‍යාලෝක විද්‍යාලය ඉදිරිපිට රැකවල්ලා සිටි පොලිස්‌ නිලධාරීන්ට විදුහල තුළ සිටි සිසුන් විසින් ගල්මුල් ජලය පිරවූ බෑග් කොහු ඉදල් ආදියෙන් පහරදෙනු දක්‌නට ලැබුණි. එමෙන්ම නවවිදුහල්පතිවරයාගේ වාහනයටද පහරදී දැඩි අලාභ හානිකර ඇත.

මෙම සිද්ධියෙන් විද්‍යාලයේ නව විදුහල්පති සහ තවත් ගුරුවරයකු තුවාල ලබා ඇති අතර සිසුන් සිව් දෙනෙකුද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධියත් සමග අදාළ ස්‌ථානය වෙත පැමිණි දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කිත්සිරි ලියනගම මහතා විදුහල්පති සහ පොලිසිය සමග සාකච්ඡා කර විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළේය.

ගාල්ල ජාතික රූපවාහිනි මාධ්‍යවේදී යූ. එම්. තිලකරත්න මහතා සහ තවත් මාධ්‍යවේදියකුද සිසුන්ගේ ගල් පහරයන්ට ලක්‌වීමෙන් සුළු තුවාල ලබා ඇත.

මෙම විරෝධතා අවස්‌ථාවට පැමිණි දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සහ පොලිස්‌ නිලධාරීන් අතර උණුසුම් බහින් බස්‌ වීමක්‌ද ඇතිවිය.

හාමුදුරුවනේ හාමුදුරුවෝ මට කී වාරයක්‌ එක එක දේවල්වලට කතා කරපු හැටි මතක නේදැයි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයකු පවසනු අපට අසන්නට ලැබුණි.

ලෝක ළමා දිනයේ විද්‍යාලෝක සිසුන් කටයුතු කළ ආකාරය පිළිබඳව මහජනතාව මෙහිදී දැඩි විවේචන එල්ල කළහ.

මේ සිද්ධියෙන් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගොඩනැඟිලි කීපයකටද සුළු හානි සිදුව තිsබිණි.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති එµa. ලියනගේ මහතා මාරුකර බන්දුල ජයසිංහ මහතා එම ධුරයට පත් කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් විද්‍යාලයේ ආදි සිසුන් දෙමාපියන් පිරිසක්‌ මාස කීපයක සිට නව විදුහල්පතිවරයාට වැඩ භාර ගැනීමට ඉඩ ලබා නොදෙමින් විරෝධය පළකරන්නට වූහ. එම විරෝධතා මධ්‍යයේ නව විදුහල්පතිවරයා ඊයේ වැඩ භාර ගත් අතර ඒ සමගම මෙම නොසන්සුන්තාව හට ගැනුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවනු ලැබ ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. පී. ජී. වාස්‌ ගුණවර්ධන මහතා පැවසීය.

Source: Divaina (Sri Lanka)