Home » News »

තොරතුරු සන්නිවේදන තාක්ෂණය වෛරය වපුරන්න යොදා ගන්න එපා – මහින්ද රාජපක්ෂ

 

වෛරය වැපිරවීම හෝ පටු පරමාර්ථ මුදුන් පත් කර ගැනීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා නොගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තාක්ෂණයේ වර්ධනයත් සමඟ සිදුවන අකටයුතුකම් වළක්වා ගැනීමට මෙන්ම ප්‍රචණ්ඩත්වය,අන්තවාදීත්වය හා සංස්කෘතිය විනාශ කිරීම යනාදියට තාක්ෂනය යොදා ගැනීමේ ඉඩ ඇහිරීමට මේ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කළ යුතු බවත් ජනාධීපතිවරයා පෙන්වා දෙයි.

අධිවේගී අන්තර්ජාල සබඳතාවන් පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසයි. මනුෂ්‍යත්වය හා සාරධර්ම විනාශ කරන ආයුධයක් බවට තොරතුරු තාක්ෂණය යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා ‍කියයි.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ විදුලි සංදේශ නියාමකයන් පිළිබඳ ගෝලීය සමුළුවේ (2012) සමාරම්භක සැසියට කොළඹ හිල්ටන් හෝට‍ලයේදී ඊයේ (02) එක්වෙමිනි. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය නියෝජනය කරමින් රටවල් 120 ක නියෝජිතයෝ 500 දෙනකු පමණ එක්ව සිටින මේ සමුළුව අදාළ තොරතුරු හා සන්නිවේදන නියාමකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් එකට එකතු වන විශිෂ්ටතම සමුළුව වේ.

සංස්කෘතික හා සදාචාරාත්මක බැඳීම්වලින් දරුවන් ඈත් කිරීමට නොව දරුවන්ගේ සිතීමේ හා දක්ෂතාවන්ගේ දියුණුවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වී ඇති ආකාරය පැහැදිලි කර දුන් ජනාධිපතිවරයා ජාතීන්, ආගම් හා භූගෝලීය බාධක ඉක්මවාලීමට එය උපකාරී වන බව කියා සිටියේය. ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රංජිත් සියඹලාපිටිය, අන්තර්ජාතික විදුලි සංදේශන සංගමයේ මහලේකම් ආචාර්ය හමාඩෝන් අයි‍ ටෝරේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

Source: Dinamina (Sri Lanka)