පුංචි ඡන්දයෙන් මනාප ඉවතට – පනත මැති සබයේදී ඒකමතිකව සම්මත වේ

මනාප ක්‍රමය අහෝසි කරමින් කොට්‌ඨාස සහ අනුපාත ක්‍රමය යටතේ ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ නියෝජිතයන් තෝරා ගැනීමේ පනත් කෙටුම්පත් ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්‌ථාවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී විපක්‍ෂය විසින් ඒ සඳහා ඉදිරිපත් කළ සංශෝධන කීපයක්‌ සලකා බැලීමට එකඟ වූ ආණ්‌ඩු පක්‍ෂය විපක්‍ෂයේ තවත් සංශෝධන කීපයක්‌ ප්‍රතික්‍ෂේප කළේය.

ආණ්‌ඩු පක්‍ෂය විසින් මෙම පනත් කෙටුම්පත් දෙක සඳහා සියයකට ආසන්න සංශෝධන සංඛ්‍යාවක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත් විපක්‍ෂය ද මෙම පනත් කෙටුම්පත් දෙක සංශෝධනය කිරීම සඳහා සහාය ලබා දුන් නිසා ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත් සම්මත කෙරිණි.

මෙම පනත් කෙටුම්පත් සම්මත වීම නිසා ඉදිරියේදී පවත්වන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මැතිවරණ මනාප ක්‍රමයට නොපවත්වන අතර, කොට්‌ඨාස හා අනුපාත ක්‍රමය යටතේ පවත්වනු ඇත. එහෙත් ඉදිරි කාලයේදී පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභා දෙකෙහි පවත්වන මැතිවරණය පමණක්‌ පැරැණි මනාප ක්‍රමය යටතේ පවත්වන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර සීමා නිර්ණය කොමිසම සම්බන්ධව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ සංශෝධන පසුව ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති රවුµa හකීම් මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද මෙම කොට්‌ඨාස හා අනුපාත ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අපේක්‍ෂකයන් සියයට හතළිහක්‌ අනුපාත ක්‍රමය යටතේ තෝරා පත්කර ගැනීමට ද, අපේක්‍ෂකයකු විසින් තැන්පත් කළ යුතු ඇප ප්‍රමාණය රුපියල් දෙදහස්‌ පන්සියය දක්‌වා අඩු කිරීම පිළිබඳ සලකා බලන බව ද ඇමැති අතාවුල්ලා මහතා ප්‍රකාශ කළේය.

සංශෝධිත පනත් කෙටුම්පතෙහි දැනට තිබෙන්නේ අනුපාත ක්‍රමය යටතේ සියයට තිහක්‌ අපේක්‍ෂකයන් තෝරා පත්කර ගන්නා බව හා ඇප තැන්පතුව රුපියල් පන්දහසක්‌ විය යුතු බවත් ය.

කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්
Source: Divaina(Sri Lanka)