එක්සත් භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලද ඊයේ (18 දා) හයිඩ් පිටියේ පැවැති නව විපක්ෂ සන්ධාන රැලියට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ක්රියාකාරිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි එජාපයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව එම සන්ධාන රැලියට සහභාගි වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂයෙන් නෙරපූ බව දන්වා අද (19 වැනිදා) උදේ වරුවේදී ලිපි යෑවීමට ක්‍රියා කරන බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “දිවයින”ට ඊයේ (18 දා) රාත්‍රියේ පැවැසීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් සංවිධානය කළ මෙම රැලිය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එක්සත් භික්ෂු පෙරමුණ පක්ෂයේ නිල සංවිධානයක් නොවන බැවින් එවැන්නකින් සංවිධානය කරනු ලබන රැලියකට එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවිය යුතු බවට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගියදා තීරණය කරන ලදී.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු හෝ ක්‍රියාකාරිකයකු හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට සහභාගි නොවිය යුතු බව පක්ෂය නිල වශයෙන් දැනුම්දීමක් කර තිබිණි.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගනු ලැබූ එම තීන්දුව කඩකරමින් රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ හා ක්‍රියාකාරින්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඔවුන්ට එරෙහිව පූර්ණ පරීක්ෂණයක්ද අද (19 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතය.
රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන්ට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණය කඩිනමින් අවසන් කිරීමටත් එම පරීක්ෂණය අවසන් වූ වහා වැරැදිකරුවන් බවට ඔප්පු වන අය පක්ෂයෙන් නෙරපීමටත් පියවර ගන්නා බව එ.ජා.ප. ප්‍රකාශකයා පැවැසීය.
පක්ෂයේ තීරණවලට අවනත නොවන අය සමඟ වැඩකළ නොහැකි බවත් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව මෙම තීන්දුව ගැනීමට සිදුවූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර එක්සත් භික්ෂු පෙරමුණ විසින් හයිඩ් පිටියේදී සංවිධානය කළ විපක්ෂ සන්ධාන රැලිය සඳහා සහභාගි නොවිය යුතු යෑයි එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කර තිබුණද එය නොතකා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම සහ අශෝක් අබේසිංහ යන මහත්වරු රැලියට මුල් අවස්ථාවේ සිටම සහභාගි වූහ.
එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක, දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න ඇතුළුව තවත් පළාත් සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද සහභාගිවී සිටියහ.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද රැලියට සහභාගි විය.
Source: Divaina
Picture courtesy : Divaina