ද ෆිනෑන්ස් කොටස් මිලට ගෙන රජයට කෝටි 39කට වැඩි පාඩුවක් කළ NSB හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට නඩු.

රජයට පාඩු විය හැකි බව දැන දැනම ද ෆිනැන්ස් ආයතනයේ කොටස් අයුතු සහගත ලෙස මිලදි ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් සුරාජ් කාරියවසම්ට පෙබරවාරි 28 වන දින අධිකරණයේ පෙනි සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (25) නොතිසි නිකුත් කළේය. ප්‍රදීප් සුරාජ් කාරියවසම් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා ය.

අල්ලස් කොමිසම විසින් ඊයේ අධිකරණය හමුවේ විත්තිකරුට එරෙහිව නඩු පැවරීම සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2012/3/14 සිට 2012/5/3 කාලපරිච්ඡෙදය තුළ දි ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සභාපති ධුරය ධරමින් සිටියදි රජයට පාඩු සිදුවිය හැකි බව දැන දැනම ස්වකිය ධුරය අයුතු ලෙස භාවිතා කර ද ෆිනැන්ස් ආයතනයේ 7863362කොටස් රුපියල් කෝටි 39,1137654533 මිළදි ගැනිම සදහා කටයුතු කිරිම ,2012/4/28 වන දින රජයේ සේවකයෙකු ලෙස සිට එම සමාගමෙන් කොටස් මිළදි ගන්නා බවට ද ෆිනැන්ස් ආයතනයට දන්වා යැවිම හා ද ෆිනැන්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ ධුරයක් සදහා ශාන් චන්ද්‍රසිලරන් ශම්මුගනාදන් නැමැත්තා පත් කරන ලෙසට ද ෆිනැන්ස් ආයතනයට දන්වා යැවිම යන චෝදනා සදහන් කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව අධීකරණය හමුවේ නඩු පවරා තිබිණ.

මෙම චෝදනා අල්ලස් පනතේ 70 වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් සාක්කිකරුවන් ලෙස ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ විධායක නිලධාරි (3) අනුර ඩැනියල් පෙරේරා, නිති නිලධාරි ජස්ටින් ෆාතිමා ඩින් ,හා තැබ්රෝබෙන් සිකියුරිටි පුද්ගලික සමාගමේ ව්‍යාපාරික අධ්‍යක්ෂක අවන්ති ප්‍රේමදන්ද්‍ර අරුමදුර සමන්ත රොහාන් ද සිල්වා ඇතුළු ව සාක්කිකරුවන් 26ක් අල්ලස් කොමිසම විසින් නම් කර තිබිණ.

තැබුරෝබෙන් සිකියුරිටි පුද්ගලික සමාගම විසින් ස ෆිනැන්ස් ආයතනය කොටස් විකිණිම සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරිමේ බැංකුවට ඉදිරිපත් කළ ලේඛන ඇතුළුව නඩු භාණ්ඩ 51 නම් කරමින් අදාළ චෝදනාව සදහා අධිකරණයට කරුණු දැක්විම සදහා අධිකරණයේ පෙනි සිටිමට නොතිසි නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබිණ. ‍

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුට පෙබරවාරි මස 28 වන දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කළේය.

අල්ලස් කොමිසමේ නිති නිලධාරි විසින් අධිකරණය හමුවේ නඩු පැවරිම සිදු කළේය.

විජයානි එදිරිසිංහ සහ සිරන්ජනි කුමාරි
Source: Dinamina (Sri Lanka)