ජාතික ප්‍රශ්නයට තීන්දුවක්‌ ගැනීමේ සාකච්ඡාවලට දෙමළ සන්ධානය දිගින් දිගටම නාවොත් රජය විශ්වාස කරන ක්‍රියාමාර්ගය ගන්නවා – ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ සකස්‌ කිරීමට දෙමළ ජාතික සංධානය දිගින් දිගටම නොපැමිණියහොත් තිරසාර විසඳුමක්‌ ලබා ගැනීමට නොහැකි වීමේ වගකීම එම පක්‍ෂය විසින් භාර ගත යුතු බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

ජාතික ගැටළුවට විසඳුමක්‌ සොයා ගැනීමට සුදුසුම තැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යෑයිද, මාස ගණනාවක සිට ඔවුන් එයට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කරන බවද හෙතෙම කීය.

විපක්‍ෂයේ සිටින ප්‍රධාන පක්‍ෂයක්‌ ලෙස දෙමළ ජාතික සන්ධානයට සාකව්ඡාවලට පැමිණීමට සියලු අවස්‌ථාවන් ලබා දුන් බවද කී ඇමැතිවරයා ඔවුන් තවදුරටත් සාකච්ඡාවලට නොපැමිණෙන්නේ නම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රජය විශ්වාස කරන සුදුසුම ක්‍රියාමාර්ගය ඒ වෙනුවෙන් ගන්නා බවත් කියා සිටියේය.

ඊයේ (25 වැනිදා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

Source: Divaina (Sri Lanka)