‘මහේල මාලිංග නැති එක අපට පාඩුවක්’ මැතිව්ස් කියයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ මේ මස 30 වැනිදා පල්ලේකැලේ දී ආරම්භ වන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට මහේල ජයවර්ධන හා ලසිත් මාලිංගගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවීම බලවත් පාඩුවක් බව විස්සයි20 ක්‍රිකට් නායක ඇන්ජ‍ලෝ මැතිව්ස් පැවැසීය.

ම‍හේල හා මාලිංග ශ්‍රී ලංකාව සතු පළපුරුදුම ක්‍රීඩකයන් දෙදෙනෙකු බැවින් ඔවුන්ගේ සේවය සැමවිටම වැදගත් බව මැතිව්ස් පෙන්වා දුන්නේය‍. එසේ වුවද හොඳ සමබර කණ්ඩායමක් තමාට ලැබී ඇති හෙයින් නවසීලන්තයට එරෙහිව තරගය ජය ගනු හැකිබවට විශ්වාසය පළ කළේය.

“අපේ කණ්ඩායමේ හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා. එය අපිට විශාල වාසියක්. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී නවසීලන්ත කණ්ඩායම හොදින් ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්තයේ දී හොඳ දස්කම් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණය පිළිබඳ අප තුළ ඇත්තේ විශ්වාසයක්.

මාලිංග වෙනුවට උපනායකත්වය දරණ කුලසේකර පළපුරුදු ක්‍රීඩකයකු නිසා කණ්ඩායම තවත් ශක්තිමත්” මැතිව්ස් පැවසීය. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (26) ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ‍මේ මාධ්‍ය හමුවට නවසීලන්තය නියෝජන කරමින් ජේකබ් ඔරාම් සහභාගි විය.
ඔහු පැවැසුවේ නවසීලන්ත වේග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන චමින්ද වාස්ගේ සේවය ලබාගෙන ඇති බවයි. ඔහු ‍මේ සංචාරයේ දී විස්සයි20, එක්දින හා ටෙස්ට් තරගවලි දී නවසීලන්ත පිලේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

“චමින්ද වාස් විශිෂ්ටතම පන්දු යවන්නෙක්. ඔහු දන්නවා ලංකාවේ තණතිලිවල හැසිරීම. ඒ තණතිල්ලේ වේග පන්දුව හසුරුවන හැටි කාටත් වඩා දන්නේ ඔහුයි. ඒ නිසා අපේ වේග පන්දු යවන්නන්ට උපදෙස් ලබා ගැනීමට සිටින හොඳම සුදුස්සා ඔහුයි.

අපේ කණ්ඩා‍ය‍මේ ෂෙන් බොන්ඩ් මුල් පෙළේ වේග පන්දු යවන්නෙක්. ඔහුට වාස්ගෙන් හොඳ උපදෙස් ලැබෙයි” ඔරාම් කීය. එහිදි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරුදුන් ඕරාම් පැවැසුවේ මුත්තයියා මුරලිදරන්ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට ලබාගැනීම පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

ප්‍රින්ස් ගුණසේකර
Source: Dinamina (Sri Lanka)