උතුරු නැගෙනහිරට සුළි කුණාටු තත්ත්වයක්‌ මහ වැස්සෙන් රට පුරා ලක්ෂයක් විපතේ තිදෙනෙක්‌ මරුට නිවාස හා මාර්ග යටවෙයි

බෙංගාල බොක්‌කේ හටගත් පීඩන අවපාතය ඊයේ (29 වැනිදා) රාත්‍රී සුළි කුණාටු තත්ත්වයක්‌ බවට පත්වී දිවයිනට ඇතුළු වීමෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක මියගොස්‌ ලක්‍ෂයකට අධික පිරිසක්‌ විපතට පත්ව සිටිති.ප්‍රදේශ රැසක ඇති වූ ගංවතුරෙන් හා ආපදා තත්ත්වයෙන් විපතට පත් සංඛ්‍යාව කොපමණද යන්න ඊයේ සවස්‌ වනතෙක්‌ නිශ්චිත වශයෙන් ගණන් බැලීමට නොහැකි වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා “දිවයින” ට පැවසීය.

කල්පිටිය මුහුදේ දිය නෑමට ගිය 17 හැවිරිදි නවුෆර් මොහොමඩ් සහ 19 හැවිරිදි මොහොමඩ් අසාත් නමැති තරුණයන් දෙදෙනා ද නිවසක්‌ මතට පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් ගාල්ලේ තරුණියක්‌ ද මෙලෙස මියගොස්‌ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා පවසයි.

ඊයේ (29 වැනිදා) දිනය පුරා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සහ අධික සුළඟ හේතුවෙන් රට පුරාම නිවාස රැසක්‌ ජලයෙන් යට වූ අතර දුම්රිය හා මහාමාර්ග රැසක්‌ම ගස්‌ කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට අවහිර විය.

මේ අතර නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි සුළං තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ අනතුරු ඇඟවීය.

මෙම පීඩන අවපාතය ඊයේ (29 දා) රාත්‍රියේදී සාමාන්‍ය සුළි සුළං තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වී යාපනයට ආසන්නයේ ගොඩබිමට ඇතුළුව ගමන් කෙරෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ උතුරු නැගෙනහිර මන්නාරම සිට යාපනය, මඩකලපුව දක්‌වා මුහුදු තීරය රළු ස්‌වභාවයක්‌ ගන්නා බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නියෑළීමෙන් වළකින ලෙස ධීවරයන්ට අවවාද කරයි.

මෙම පීඩන අවපාතය ඊයේ (29 දා) පස්‌වරු 11.00 වන විට මුලතිව් වෙරළේ සිට කිලෝමීටර් 200 ක්‌ ඈත නැගෙනහිර මුහුදේ වර්ධනය වෙමින් තිබිණි.

පීඩන අවපාතයේ බලපෑමෙන් ගිනිකොන හැර දිවයිනේ සියලු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පීඩන අවපාතය සුළි සුළං තත්ත්වයට වර්ධනය වීම සහ විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්නාරම, යාපනය, මඩකලපුව ප්‍රදේශවල දැනට පවතින පැයට සැතපුම් 70 ක්‌ 90 ක්‌ අතර වේගයකින් හමා යන සුළඟේ වේගය තවත් වැඩිවිය හැකි බව ද සඳහන් කරයි.

මෙහි බලපෑමෙන් මන්නාරම, යාපනය, මඩකලපුව මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං තත්ත්වයක්‌ ඇතිවිය හැක.

ඊයේ (29 දා) උදේ 8.30 න් අවසන් වූ පැය 24 තුළදී වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 187 ක්‌ කන්තලෙන් වාර්තා වේ.

පාලම්පොඩ්ඩාර් – මිලි මීටර් 160, දුම්මලසූරිය – මිලි මීටර් 132, ලක්‍ෂපාන – මි. මී. 130, ඇතාවැටුණුවැව – මිලිමීටර් 127, ගිනිගත්හේන මි.මී. 112, වව්නියා – මි.මී.100.9, නෝර්ටන් – මි.මී. 91, ත්‍රිකුණාමලය – මි.මී.79.5, මන්නාරම මි.මී. 74 ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක්‌ ලැබී ඇත.

යාල ප්‍රදේශයට හැරෙන්නට දිවයිනේ වර්ෂාපතනය ගණනය කෙරෙන සෑම ප්‍රදේශයකින්ම වැසි වාර්තා වේ.

මේ අතර මුලතිව් දිස්‌ත්‍රික්‌කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක්‌ විපතට පත්වී සිටින බව මුලතිව් දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ප්‍රකාශ කරයි.

වර්ෂාව හේතුවෙන් වැඩි වශයෙන් විපතට පත්වී ඇත්තේ තාවකාලිකව යළි පදිංචි කළ පිරිස්‌ වෙති. තාවකාලික කූඩාරම් හා පැල්පත් නිවාස රැසක්‌ වැසි ජලයට යටවී ඇති අතර බොහෝ පැල්පත් නිවාස තුළට වැසි ජලය කාන්දුවීම නිසා ඒවායෙහි වැසියන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයි මුලතිව් පළාතේ ස්‌වේච්ඡා සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරති.

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කුඩා වැව් වර්ෂා ජලයෙන් පිරී පිටාර ගලන තත්ත්වයට පත්ව තිබේ. වැව්වලින් ගලායන පිටාර ජලයෙන් ද තාවකාලිකව පදිංචි වී සිටින වැසියන්ට හානි සිදුවී ඇතැයි දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ප්‍රකාශ කරයි.

එමෙන්ම නායයැමේ අවදානමකට ලක්‌ව ඇති අක්‌මීමන මීගොඩ ගොඩදෙණිකන්ද පාමුල පදිංචි පවුල් තිහකට තම නිවාසවලින් තාවකාලිකව ඉවත් වන ලෙස ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ ආයතනය මගින් ඊයේ (29 දා) දැනුම් දෙනු ලැබීය.

දැනට මෙහි නිවාසවල පදිංචිකරුවන් මීගොඩ පූර්වාරාම විහාරස්‌ථානයේ රැඳී සිටින අතර ඊයේ (29 දා) පෙරවරුවේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ නිලධාරි භූ විද්‍යාඥ ඊ. ආර්. බන්දුල මහතා ගොඩදෙණිකන්දට පැමිණ එය පරීක්‍ෂා කළේය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කඩුගන්නාව පොලිස්‌ වසමේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ගෝනදිගවත්ත හෙක්‌ටයාර් 25 ක කොටසේ නිවාස 20 ක්‌ නායයැමේ තර්ජනයට ලක්‌වී තිබේ.

දැනටමත් පුද්ගලයන් 70 ක්‌ පමණ එම නිවාසවලින් ඉවත් කර ඇත.

Source: Divaina (Sri Lanka)