නවකයන්ට වාස්‌ හොඳ ශක්‌තියක්‌ වෙයි – නවසීලන්ත පුහුණුකරු

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේදී නවසීලන්ත කණ්‌ඩායමේ පන්දු යෑවීමේ සහය පුහුණුකරු තනතුර සඳහා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්‌ පත්කර තිබේ.

ඒ අනුව චමින්ද වාස්‌ හෙට (30 දා) සිට පැවැත්වෙන දෙරට අතර තරගාවලියේ නවසීලන්ත වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ෂේන් බොන්ඩ්ට සහය දක්‌වනු ඇත.

‘ආසියානු තණතීරුවල ක්‍රීඩා කරද්දී ඒ සම්බන්ධව වැඩි දැනුමක්‌ තියෙන අයෙකුගේ උදව් ලබා ගැනීමට අපට ඕන වුණා. විශේෂයෙන්ම අපේ තරුණ පන්දු යවන්නන්ට දැනුමක්‌ ලබා ගැනීම සඳහා. ඒ අනුව (චමින්ද) වාස්‌ අපේ පන්දු යෑවීමේ පුහුණුකරු ෂේන් බොන්ඩ් සමගින් ටෙස්‌ට්‌ තරගාවලියේදී කටයුතු කරන්න තෝරාගත්තා’ යනුවෙන් නවසීලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු මයික්‌ හෙසන් පැවැසීය.

දෙරට අතර පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් පැවැති නිල මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වා සිටි නවසීලන්ත පුහුණුකරු, ‘දේශීය තත්ත්වයන් යටතේදී අවශ්‍ය උපායයන් වාස්‌ගෙන් ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව’ වශයෙන් පැවැසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ සහ එක්‌දින තරග අංශයන්හි දෙවැනියට වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටින වාස්‌ මෙවර තරග වාරයේදී දකුණත් පන්දු යවන්නන් වන ඩග් බ්‍රැක්‌වෙල්, ක්‍රිස්‌ මාටින් සහ ටිම් සවුතිද වමත් පන්දු යවන්නන් වන ට්‍රෙන්ට්‌ බෝල්ට්‌, ඡේම්ස්‌ µ්‍රeන්ක්‌ලින් සහ නීල් වැන්ගර් සමගින් කටයුතු කරනු ඇත.

Source: Divaina (Sri Lanka)