‘මට ෆ්ලයිට්‌ එක මිස්‌වුණා’ සුසන්තිකා මලල ක්‍රීඩා බලධාරීන්ට දැනුම්දෙයි – සුසන්තිකා අතුරුදන් සිද්ධිය

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ආසියාවේ කාන්තාවන් සඳහා වූ මලල ක්‍රීඩා ව්‍යාපෘති සම්මන්ත්‍රණයට තමාට සහභාගි වීමට නොහැකි වූයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් යැමට නියමිතව තිබූ ගුවන් යානයේ වේලාව පැටලීම නිසා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරියක වන ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මලල ක්‍රීඩා බලධාරීන්ට දැනුම් දී තිබේ.

‘මට යන්න තිබුණේ ඉකුත් 31 දා අලුයම 1.05 ටයි. නමුත් මම කටුනායකට ගියේ 31 දා රාත්‍රියේ. ඒ නිසා මට ෆ්ලයිට්‌ එක මිස්‌වුණා යයි’ සුසන්තිකා ජයසිංහ පැවසූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා “දිවයින”ට පැවැසීය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මැදිහත්වී ඊට පසුදින වෙනත් ගුවන් යානයකින් ඉන්දුනීසියාවට යැමට ඇයට අවස්‌ථාව ලබාදීමට සූදානම් වුවද ‘මට කවදාවත් එහෙම වැරදිලා නැහැ. දැන් බාධා වුණා. ගමන අතහරිනවා’ යෑයි සුසන්තිකා පැවසූ බවද ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුසන්තිකාට ගුවන් යානයේ වේලාව වැරදීම නිසා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට රු. 78,500 ක පාඩුවක්‌ දැරීමට සිදුවී ඇත.

සුසිල් ප්‍රේමලාල්

Source: Divaina (Sri Lanka)