ක්‍රීඩා අමාත්‍යංශය යටතේ සිටින සියලු ක්‍රීඩා පුහුණුකරුවන්ගේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කටයුතු සොයා බැලීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් දියත් කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන ඇත. සෑම දිස්ත්‍රික්කයකම සිටින ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ක්‍රියා කළාප හා ක්‍රීඩාවට දක්වන දායකත්වය පිළිබඳ “රහස් පොලීසියක්” ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් ඊයේ ආරම්භ කළ පුහුණුකරු කුසලතා සංවර්ධන වැඩ සටහනේ උත්සව සභාව අමතමින් ක්‍රීඩා ඇමැතිවරයා එසේ පැවැසීය. ඊයේ ඇරැඹි මලල ක්‍රීඩා පුහුණු කුසලතා සංවර්ධන වැඩසටහනට රටපුරා සිටින පුහුණුකරුවන් 189ක් සහභාගී වී සිටියහ.
ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ විශේෂඥ පුහුණුකරුවන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව මේ වැඩසටහනේ දී ලැබේ.මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසිකව මුදල් දීමනා හා සියලු පහසුකම් ලබාදෙන හෙයින් පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ පුළුල් පසු විපරමක් කිරීමට කටයුතු යොදා ඇතැයි ඇමැතිවරයා පැවැසීය.
“අපේ පුහුණුකරුවන් විශාල කැප කිරීමක් කරන බව මා දන්නවා. ඇතැම් අය ආර්ථික අපහසුකම් මැද මෙහෙවරක යෙදී සිටින බව මා දන්නවා. ඒ නිසා තාක්ෂණිකව මෙන්ම ආර්ථික තත්ත්වයෙන් පුහුණුකරුවන් උසස් තත්ත්වයකට ගෙන ඒම මගේ අරමුණයි. ඒ සඳහා පුහුණුකරුන්ගේ කැපවීම හා සහයෝගය බලාපොරොත්තු වෙනවා” අලුත්ගමගේ මහතා පැවැසීය.
“මගේ බලාපොරොත්තුව දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණය මෙවර දිනා ගැනීමයි. ඒකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය උසස් මට්ටමක තිබිය යුතුයි” ඇමැතිවරයා අවධාරණය කළේය. මලල ක්‍රීඩා පුහුණුකරු කුසලතා සංවර්ධන වැඩ සටහනට සම්බන්ධ පුහුණුව ලබා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන පුහුණුකරුවන් 50කට විදෙස් පුහුණුව ලබාදීමට කටයුතු කරන බවද ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Source: Dinamina(Sri Lanka)