මරණ පරීක්‍ෂණවලින් පසු මෘතදේහ ඥතීන්ට බාර දෙයි, වැලිකඩ ගැටුමෙන් මියගිය රැඳවියෝ හඳුනා ගැනෙති

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුම්වලින් බන්ධනාගාර රැඳවියන් 27 දෙනකු මරුමුවට පත්වී තිබේ. එම විසිහත් දෙනාගේ මෘත දේහයන් ඥතීන් විසින් හඳුනාගෙන ඇත.


මෙම මියගිය පිරිස අතරේ මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ හා මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්‌ඩනය නියම වූ සහ ජීවිතාන්ත සිරදඬුවම් නියම වූවන් සිටින බව බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා “දිවයින”ට පැවසීය.

මෙම ගැටුමෙන් මියගිය අයගේ මෘතදේහ කොළඹ පොලිස්‌ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ගැටුම් උණුසුම් අයුරින් පැවැති 9 වැනිදා රාත්‍රි හා 10 වැනිදා අලුයම් කාලයේදී පලාගිය රැඳවියන් 7 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා, පලාගිය තවත් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ අරඹා ඇතැයි ද කීය.

රැඳවියන් බන්ධනාගාර අවි ගබඩා දෙකෙන් එකක්‌ බිඳ පැහැරගත් ටී පනස්‌ හය ගිනි අවි 82 න් 76 ක්‌ සොයාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් ජී. ඩබ්. කොඩිප්පිලි මහතා පවසයි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය 09 වැනිදා සවස වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්‌ටුවේ හා එල් වාට්‌ටුවේ හදිසි සෝදිසි මෙහෙයුමක නිරතවීමත් සමග මෙම ගැටුම මතු විය.

එම වාට්‌ටුවල ජංගම දුරකථන සහ හෙරොයින් විශාල වශයෙන් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එහිදී බන්ධනාගාර රැඳවියන් එහි වහළ මතට නැග පොලිස්‌ විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ට “තොපිලා පලයල්ලා” යෑයි කෑගසමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරන්නට වී තිබේ. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඔවුනට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කිරීමත් සමග තත්ත්වය උණුසුම් වී ඇත. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහායට යුද හමුදා විශේෂ බළකායේ හා කොමාන්ඩෝ බළකායේ සහාය ද ලැබිණි.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය මුළුමනින්ම පාලනය කර ඇති බවත්, තවදුරටත් බන්ධනාගාරය තුළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

වැලිකඩ ගැටුම්වලින් මියගිය රැඳවියන් 27 දෙනකුගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් ජී. පී. එස්‌. රණසිංහ මහත්මිය හමුවේ පෙරේදා (10 වැනිදා) පස්‌වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.

මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා එම මෘතදේහ ඥතීන්ට භාර දෙන ලෙස මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

ඒ අනුව ඥතීන් හඳුනාගත් මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ (11 වැනිදා) අධිකරණ කාර්යාලයේදී පැවැත්විණි.

එම පශ්චාත් මරණ පරීක්‍ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් වන අජිත් තෙන්නකෝන්, දසනායක, එච්. ඩී. සී. අප්පුහාමි, සුපියාන්, එම්. එන්. ජුසාර් යන මහත්ම මහත්මීහු සිදු කළහ.

පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් පසු එම රැඳවියන්ගේ දේහයන් ඊයේ පස්‌වරුවේ ඥතීන්ට භාර දෙන ලදි.

Source : Divaina (Sri Lanka)